Hashtag Generation

අශ්‍රෆ් හකිමිගේ සියලු වත්කම් මවගේ නමට යැයි කියන ප්‍රකාශ මහජනතාව නොමඟ යවයි.

මොරොක්කෝ පාපන්දු ක්‍රීඩක අශ්‍රෆ් හකිමි සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ අප්‍රේල් මාසය මුළුල්ලේ විශාල කතාබහක් ඇති වී තිබිණි. අශ්‍රෆ් හකිමිගේ බිරිඳ හිබා අබූක් දික්කසාදය සඳහා නඩු පවරා ඇති බවත් ඇය හකිමිට අයත් දේපළවලින් අඩක් ඉල්ලා ඇති බවත් සමාජ මාධ්‍ය දැක්විණි. අශ්‍රෆ් හකිමි ඔහු සතු සියලු දේපළ සිය මවගේ නමින් ලියාපදිංචි කර ඇති බවත් ඔහුගේ නමට හෝ ඔහු සන්තකයේ හෝ කිසිදු මුදලක් හෝ වත්කමක් නැති බවත් සමාජ මාධ්‍යයේ කතාබහ වී තිබිණි. මේ කතාබහ අතර කාන්තාවන් පහත හෙළීම හා ඒ ආකාරයේ අදහස් දැක්වීම්, කාන්තාවන්ට හිරිහැර කිරීම් සහ වෙනස් කොට සැලකීම් ද මෙහිදි දක්නට ලැබිණි. 

. එමෙන්ම ඔහු ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජයෙන් ගන්නා වැටුප් සම්බන්ධයෙන් මෙම ෆේස්බුක් සටහන්වල අදහස් පළ වී තිබිණි. 

අශ්‍රෆ් හකිමි ප්‍රංශ පාපන්දු ක්‍රීඩා සමාජයක් වන පැරී සන් ජර්මා (පැරිස් සෙන්ට් ජර්මෙයින් – Paris Saint-Germain) පාපන්දු ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරයි. 

මේ කතාබහට අදාළ සමාජ මාධ්‍යයේ අදහස් රැසක් පළ වී තිබූ අතර ඊ‌ට අදාළ තිර ඡායාරූප (screenshots) කිහිපයක් පහතින් දැක්වේ. 

 

 

සිංහල බසින් මේ සම්බන්ධයෙන් කතාබහ ඇති වීමටත් පෙර ඉංග්‍රීසි බසින් සහ වෙනත් භාෂාවලින් මේ සම්බන්ධයෙන් කතාබහ නිර්මාණය වී තිබිණි. 

 

කෙසේ වෙතත් හකිමි සම්බන්ධයෙන් මේ කතාබහ ඇති වෙද්දි ජාත්‍යන්තර මාධ්‍ය කිසිවක් ඔහුගේ මෙම දික්කසාදයට අදාළ කරුණු සම්බන්ධයෙන් කිසිවක් වාර්තා කර ඇති ආකාරයක් දක්නට නොලැබිණි. එසේ නමුත් අල්ජසීරා පුවත් සේවය මාර්තු මස 3 වැනිදා හකිමිට අදාළ ප්‍රවෘත්තියක් පළ කර තිබූ අතර ඔහුට ස්ත්‍රී දූෂණ චෝදනාවක් එල්ල වී ඇතැයි ද එම නිසා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන්නේ යැයි ද එහි දැක්විණි. අල්ජසීරා වාර්තාවට මෙතැනින්. ඒ.පී. සහ රොයිටර්ස් යන පුවත් කාර්යාංශ ද මේ සම්බන්ධයෙන් පුවත් වාර්තා කර තිබිණි. මෙතැනින් මෙතැනින් 

 

තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂෙප් කරන බව හකිමි අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබිණි. හකිමිගේ නීතිඥයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබිණි. මෙතැනින් මෙතැනින් මෙතැනින් 

 

ඩුබාවා (Dubawa) කරුණු පරීක්ෂා කිරීමේ වෙබ් අඩවියට අනුව හකිමි සම්බන්ධයෙන් මුල් වරට කතාබහක් ඇති වී ඇත්තේ අප්‍රේල් 10 ත් 13ත් අතර යැයි අනුමාන කළ හැකි ය. ෆේස්බුක් සටහන් දෙස බැලීමේ දී සිංහල බසින්, හකිමි සම්බන්ධයෙන් කතාබහක් ඒ ආසන්න දිනකදී ඇති වී ඇතැයි අනුමාන කළ හැකි ය. හකිමි සම්බන්ධයෙන් බොහෝ කතාබහ ඇති වී ඇත්තේ අප්‍රේල් 14 සහ 15 යන දිනවල  බව ද පෙනී යයි. 

 

අශ්‍රෆ් හකිමි 24 වැනි වියේ පසුවන අතර උපත ලබා ඇත්තේ ස්පාඤ්ඤයේ ය. ඉකුත් වසරේ පැවැති පාපන්දු ලෝක කුසලානයේ දී දැක්වූ දස්කම් හේතුවෙන් හකිමි ඇතුළු මොරොක්කෝ පාපන්දු කණ්ඩායම සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති වී ඇත. 

ඔහු විවාහ වී සිටියේ ටියුනීසියානු-ස්පාඤ්ඤ සම්භවයක් ඇති 36 හැවිරිදි වියේ පසුවන නිළියක වන හිබා අබූක් සමඟ ය. අශ්‍රෆ් හකිමි සහ හිබා අබූක් ට දරුවන් දෙදෙනෙක් ද සිටිති. අශ්‍රෆ් හකිමිගෙන් වෙන් බව හිබා අබූක් මාර්තු මස අගදී නිවේදනය කළා ය. ඇය සිය ඉන්ස්ටග්‍රැම් පිටුව ඔස්සේ මේ බව නිවේදනය කර තිබිණි. මෙතැනින් මෙතැනින් 

හිබා අබූක් සිය ඉන්ස්ටග්‍රැම් පිටුවේ (Instagram Page), ‘ස්ටෝරි’ එකක් (Story) ලෙස අශ්‍රෆ් හකිමිගෙන් වෙන්වීම සම්බන්ධයෙන් සඳහන් කර තිබිණි. 

ඇය අදාළ සටහන ස්පාඤ්ඤ බසින් පළ කර තිබූ අතර Google Image සහ Google Translate භාවිතයෙන් එය ඉංග්‍රිසි බසට හරවා ගැනිණි. ඇය එහි දික්කසාදය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත.   

දික්කසාදයට අදාළ කටයුතු නිල වශයෙන් සිදුවන බව එහි සඳහන්ව තිබිණි. 

මේ සියලු කරුණු සැලකිල්ලට ගැනීමේ දී අශ්‍රෆ් හකිමි ඔහුගේ සම්පූර්ණ ධනය හෝ වත්කම් හෝ ඔහු සතු දෑ ඔහුගේ නමට පවරා ඇතැයි පැහැදිලිව ස්ථීරවම ප්‍රකාශ කිරීමට හැකි කිසිදු සාක්ෂියක් නැත. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය හෝ ප්‍රංශ මාධ්‍ය මෙතෙක් කිසිවක් වාර්තා කර නොමැති අතර ඔහුගේ දික්කසාදයට හෝ ඔහුට එල්ල වී ඇති ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් හෝ පිළිගත් හැකි මූලාශ්‍රයක් මෙතෙක් කිසිවක් වාර්තා කර නොමැත. මේ අනුව අශ්‍රෆ් හකිමි, ඔහුගේ වත්කම් මවගේ නමට පවරා ඇතැයි කියන වාර්තා මහජනතාව නොමඟ යවන බවට නිගමනය කළ හැකි ය. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.