Hashtag Generation

“ඉන්දියන් ඔයිල් අනතුරු අඟවයි” යන ප්‍රකාශ ව්‍යාජයි

ඉන්දියන් ඔයිල් සමාගම (IOC) නිකුත් කළා යැයි කියන අනතුරු ඇඟවීමක් ඉකුත් දින කිහිපයේ දී සමාජ මාධ්‍යවල සංසරණය වන අයුරු නිරීක්ෂණය විය. ඉදිරි දිනවලදී උෂ්ණත්වය ඉහළ යා හැකි බැවින් ඔබේ වාහනයේ තෙල් ටැංකියට උපරිම සීමාව දක්වා පෙට්‍රල් පිරවීමෙන් වළකින්න යැයි අදාළ පණිවුඩයේ සඳහන්ව තිබිණි. මෙම පණිවුඩය වට්ස්ඇප් (WhatsApp) පණිවුඩ ජාලය ඔස්සේ මෙන්ම ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ද සංසරණය වන ආකාරය දක්නට ලැබිණි.

අප්‍රේල් මස අවසාන සති දෙකක කාලයේ දී මෙය සංසරණය වන අයුරු දක්නට ලැබුණු අතර මුලින් ඉංග්‍රීසි බසින් ද පසුව සිංහල බසින් ද මෙය සංසරණය වන ආකාරය දක්නට ලැබිණි. අප්‍රේල් මාසයේ මුළුල්ලේ පැවැති දැඩි අව් රෂ්මියත් අධික උෂ්ණත්වයත් මෙම පණිවුඩය නිර්මාණය වීමට හේතු වී ඇතැයි නිගමනය කළ හැකි ය.

අධික උෂ්ණත්වය හේතුවෙන් උපරිම සීමාවට පෙට්‍රල් පිරවීමෙන් ඉන්ධන ටැංකියේ පිපිරීමක් ඇතිවිය හැකි බව අදාළ අනතුරු ඇඟවීමේ සඳහන්ව තිබිණි.

අධික උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදීම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබිණි. මෙතැනින් මෙතැනින්

එමෙන්ම මෙම උණුසුම් කාලගුණය මැය මස 20 වැනිදා දක්වා පවතිනු ඇතැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබිණි. මෙතැනින් මෙතැනින්

එලෙස හුවමාරු වූ සටහනේ තිර ඡායාරූප කිහිපයක් පහතින් දක්වා ඇත.

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් සොයා බැලූ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (ලංකා අයි.ඕ.සී) මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇති බව එහිදි දක්නට ලැබිණි. ඉන්ධන ටැංකි සම්පූර්ණයෙන් පිරවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන සටහන් ව්‍යාජ බව අදාළ සමාගම සිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි. 

මෙතැනින්.

එමෙන් ම ඉන්දියන් ඔයිල් සමාගම ද සිය නිල ට්විටර් ගිණුමේ මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි. මෙතැනින්. 

ඕනෑම  ඍතුවකදී, නිෂ්පාදකයන් නිශ්චිතව සඳහන් කර ඇති පරිදි ඉන්ධන ටැංකියේ උපරිම සීමාව දක්වා තෙල් පිරවිය හැකි බව එය සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව අදාළ ට්විටර් පණිවුඩයේ සඳහන්ව තිබූ නිවේදනයේ දැක්විණි.  

සිංහල බසින් සංසරණය වූ පණිවුඩය නිරීක්ෂණය කිරීමේදී, එය ඉංග්‍රීසි බසින් පළ වූ ව්‍යාජ පණිවුඩයේ ඍජු පරිවර්තනයක් බවත් එය ගූගල් ට්‍රාන්ස්ලේට් (Google Translate) භාවිත කරමින් කරන ලද්දක් බවත් නිරීක්ෂණය විය. 

සිංහල බසින් ඇති පණිවුඩයේ, සමාගම් ලාංඡනයේ සඳහන් ව ඇත්තේ ඉන්දියානු ඔයිල් (ඉන්දියන් ඔයිල්) යනුවෙනි. එහෙත් ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (ලංකා අයි.ඕ.සී) ලාංඡනය ඊට හාත්පසින් වෙනස් ය. නිවැරැදි ලාංඡනයේ සඳහන් වන්නේ IOC (Lanka IOC) යනුවෙනි.

තවදුරටත් සොයා බැලීමේදී මෙම පණිවුඩය 2019 වසරේ දී ඉන් පසු වසරවලදීත් ඉන්දියාවේ සමාජ මාධ්‍ය සහ පණිවුඩ ජාලවල සංසරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී කරුණු පරීක්ෂා සිදු කර ඇත. මෙතැනින් මෙතැනින් මෙතැනින්   

‘ඉන්දියන් ඔයිල්’ (Indian Oil) මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් 2019 වසරේ දී ද ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.  මෙතැනින්.

නිගමනය : ඉන්දියන් ඔයිල් සමාගම සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම සිය නිල ට්විටර් ගිණුම් ඔස්සේ නිකුත් කර ඇති නිවේදන අනුව ඉන්දියන් ඔයිල් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් සිදුකරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ සටහන් ව්‍යාජ ඒවා බව නිගමනය කළ හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි දින නවය සඳහා නිකුත් කළ කාලගුණ අනාවැකිය 

 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.