Hashtag Generation

උණට කෙරෙන ප්‍රතිකාර ගැන කියන ප්‍රකාශ මහජනතාව නොමඟ යවයි.

සාමාන්‍ය වෛරස උණ, ඩෙංගු සහ ඉන්ෆ්ලුවන්සා යන උණ රෝග මේ දිනවල බහුලව පැතිර යමින් තිබේ. එවැනි අවස්ථාවල ගත යුතු ප්‍රතිකාර මොනවාදැයි සම්බන්ධයෙන් මහජනතාව දැඩි සැලකිල්ලෙන් පසුවෙති. මෙවැනි පසුබිමක උණ රෝග මෙන්ම එවැනි අවස්ථාවල ගත යුතු ඖෂධ සම්බන්ධයෙන් මහජනතාව කලබලයට පත් කරන ආකාරයේ ප්‍රකාශ සමාජ තුළ සංසරණය වන අයුරු ඉකුත් දින කිහිපයේදී දක්නට ලැබිණි. ඒවායේ ඇතැම් ප්‍රකාශ මහජනතාව නොමඟ යවන බව ද නිගමනය කළ හැකි විය. 

එලෙස විශේෂයෙන්ම ෆේස්බුක් ඔස්සේ සංසරණය වන සටහනක (Facebook Post) තිර ඡායාරූපයක් පහතින් දැක්වේ. 

මෙම ප්‍රකාශය මහජනතාව කලබලයට පත් කරන ආකාරයේ ප්‍රකාශයක් බව බැලූ බැල්මට පෙනී යන අතර මීට දක්වා ඇති ප්‍රතිචාර මගින් ද එය පැහැදිලි වේ. මේ හේතුවෙන් හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලී ය. 

කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බව මේ සම්බන්ධයෙන් සොයා බැලීමේ පෙනී ගියේ ය. ඔහු දැක්වූ අදහස් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ යූටියුබ් (YouTube) නාලිකාවේ පළ කර ඇත. මෙතැනින්.

වෛද්‍යවරයා දැක්වූ අදහස් පහතින් දැක්වේ. 

“දැන් ප්‍රධාන උණ වර්ග 3ක් අපි දකිනවා මේ වෙලාවෙදි. එහිදී සාමාන්‍ය වෛරස් උණ, ඩෙංගු සහ ඉන්ෆ්ලුවන්සා. මේ දේවල් තුන වෙන්කර ගැනීම අපහසුයි. මට දෙන්න තියෙන පණිවුඩය තමයි ඔබට හැදෙන උණ මොක වුණත් උණ බැහීම සදහා වේදනාව අඩු කිරීම සදහා පාවිච්චි කරන පැරසිටමෝල්  නොවන වර්ගයේ ඖෂධ පාවිච්චි කරන්න එපා. 

ෆාමසියකින් අරන් පාවිච්චි කරන්න එපා. ඔබගේ වෛද්‍යවරයා යම්කිසි බෙහෙතක් දෙනවා නම් වෛද්‍යවරයාගෙන් අසා සිටින්න, එය පැරසිටමෝල් නොවන වේදනා නාශකයක් ද කියලා. 

මොකද මේ ගන්නා ඖෂධය NSAID වර්ගයේ ඖෂධ, කියන්නේ ඉබියුප්‍රොෆන් ,මෙෆැනමික් ඇසිඩ්, ඩික්ලොෆෙනැක් සෝඩියම් යනාදී මේවා බැරිවෙලාවත් ඔබගේ රෝගය ඩෙංගු රෝගය නම් ඔබ ඩෙංගු රක්තපාත තත්ත්වයකට පත් වුණොත් එයින් මරණයට පත්වීමේ හැකියාව අක්මාව නරක්වීමේ හැකියාව ඉතා අධික කරනවා. ඉතිං ඒ නිසා බෙහෙත් ගන්න එපා කියන එක තමයි මගේ පළවෙනි පණිවුඩය. අපේ වෛද්‍යවරුන්ටත් මට දෙන්න තියෙන පණිවුඩය ඒකයි.”

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නිල ෆේස්බුක් පිටුවේ ද මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ලිපියක් පළ කර තිබිණි. 

ඩෙංගු උණ රෝගී තත්ත්වය නිසා ඇති වන තද උණ රෝගී තත්ත්වය, අධික ඇඟපත වේදනාව සහ හිසේ කැක්කුමට ප්‍රතිකාර ලෙස ඇතැම් පිරිස් පැරසිටමෝල්වලට අමතරව NSAID (Non Steroidal Anti Inflammatory Drugs – ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ) කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිත කිරීමට පුරුදුව සිටින බවත් එහි දැක්විණි. එය බරපතළ කාරණයක් බව ද එහි සඳහන් වේ.  දැනට පවතින ඩෙංගු වසංගත තත්ත්වය හමුවේ මෙම NSAID ඖෂධ කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිත කළ පුද්ගලයන් අතරින් මරණ කිහිපයක් ද වාර්තා වී ඇතැයි ද එහි දැක්විණි.  මෙතැනින්. 

තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සදහා හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක මහතාගෙන් වැඩිදුර විස්තර විමසීය. 

“ඩෙංගු කියන එක වෛරස් උණක්. ඕනෑම වෛරස උණක් තියෙනකොට ඇගපත රිදෙනවා, උණ තියෙනවා, උණ බහින් නැතිවුණාම මිනිස්සුන්ට හරි අමාරුයි. එතකොට පළවෙනි ඩොක්ටර් ගාවට ගියාම ඒ ගොල්ලෝ පැරිසිටමෝල් දෙනවා” යැයි වෛද්‍ය දිසානායක මහතා පැවැසීය. 

“පැරසිටමෝල් විවිධ වර්ග තියෙනවා. පැනඩෝල් තමයි මිනිස්සු ව්‍යවහාරයේ දී දන්නේ.” යැයි ද වෛද්‍යවරයා කීය. 

පැරසිටමෝල් යනු හානිකර නොවන ඖෂධයක් යැයි ද සාමාන්‍ය ඩෙංගු උණ රෝගී තත්ත්වවලදීත් එයින් විශාල හානියක් නැතැයි ද හෙතෙම පැවැසීය.  

“එතකොට ඒක harmless drug(හානිකර නොවන) එකක්.ඒකෙන් මුකුත් වෙන්නේ නෑ. හැබැයි ඒකට උණ බහිනවා මදි. ඇගපත රිදෙනවා අඩු වෙන්නේ නෑ.ඔළුවෙ කැක්කුමත් එහෙමම තියෙනවා. එතකොට රෝගියා තව ඩොක්ටර් කෙනෙක් ළගට ගියාම ඒ ඩොක්ටර් බලනවා මීට වඩා ඇග කැක්කුම අඩු වෙන බෙහෙතක් දෙන්න. අනිත් වෛරස් උණවලදි ඒක ප්‍රශ්නයක් නෑ.නිකං ඩෙංගු උණ තිබ්බත් ලොකු harm එකක් නෑ.”

කෙසේ නමුත් ඩෙංගු රක්තපාත උණ අවස්ථාවකදී රෝගියට පැරසිටමෝල් නොවන වර්ගයේ එන්.එස්.ඒ.අයි.ඩී. (NSAID) වර්ගයේ ඖෂධ ලබා දී තිබීම බරපතළ ප්‍රතිවිපාක ගෙනදිය හැකි යැයි ද වෛද්‍යවරයා කීවේ ය. 

“හැබැයි ඩෙංගු රක්තපාත උණට ගිය අවස්ථාවක දී ඊට කලින් රෝගියාට පැරසිටමෝල් නොවන වර්ගයේ NSAID වර්ගයේ බෙහෙතක් දීලා තිබ්බොත්  උණ බස්සන්න, අර ඩෙංගු රක්තපාත උණට ගියපුවහම එයාගේ අක්මාව නරක් වෙන්න ඉඩක් තියෙනවා. ඒ කියන්නේ මැරෙනවාම කියලා නෑ. නමුත් මැරෙන්න තියෙන හැකියාව, දැන් ඩෙංගුවලින් මැරෙන්න විවිධ හේතු තියෙනවානෙ. දැන් ඩෙංගු රක්තපාත උණේදි මැරෙන්න එක හේතුවක් තමයි අක්මාව නරක් වීම. ඒ අක්මාව නරක් වීමට තියෙන හැකියාව  වැඩිවෙනවා පැරිසිටමෝල් නොවන NSAID වර්ගයේ ඖෂධයක් අරන් තිබ්බොත්. 

ඒ ඖෂධවලට උදාහරණ තමයි, ඉබියුප්‍රොෆන්ළ මෙෆැනමික් ඇසිඩ්, ඩික්ලොෆෙනැක් සෝඩියම්. ඔය වගේ බෙහෙතත් අරගෙන තිබ්බා නම් ඩෙංගු රක්තපාත උණට ගියොත් ඒගොල්ලන්ට අක්මාව නරක් වෙලා මැරෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙනවා. 

උණක් හැදුණු කෙනෙක්ට ගත හැකි හොදම පියවර තමයි, පැරසිටමෝල් ගැනීම, වෛද්‍යවරයෙක් හමුවීම, උණට හේතුවක් තිබ්බොත් උදාහරණයක් විදියට උණට හේතුව ඉන්ෆ්ලුවන්සා නම් එවිට ඇඟපත රිදෙනවා නම් NSAID ගන්න පුළුවන්. උණට හේතුව නියුමෝනියාව නම් ඒ කියන්නේ ඩොක්ටර් චෙක් කරලා බලනවා මේක බැක්ටීරියානු ආසාදනයක් මේක තියෙන්නේ පෙනහළුවල එතකොට ගන්න පුළුවන් අර බෙහෙත්. අපි කියන්නේ රෝග විනිශ්චයක් නැති උණකට, එය ඩෙංගු වීමේ හැකියාව වැඩි, එවැනි අවස්ථාවකදී පැරසිටමෝල් නොවන වෙනත් වේදනා නාශක හෝ උණ අඩු කරන ඖෂධ ගන්න එපා කියලා.”

Professor Priyadarshani’s comment, 

නිගමනය: සාමාන්‍ය වෛරස උණ, ඩෙංගු සහ ඉන්ෆ්ලුවන්සා යන උණ රෝග මේ දිනවල සමාජයේ පැතිරෙමින් තිබේ. මේ පසුබිම තුළ යමකු ඩෙංගු රක්තපාත උණ රෝගයෙන් පෙළෙන්නේ නම් ඊට ප්‍රතිකාර වශයෙන් පැරසිටමෝල්වලට අමතරව NSAID (Non Steroidal Anti Inflammatory Drugs – ස්ටෙරොයිඩ් නොවන ප්‍රති-ප්‍රදාහ ඖෂධ) කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිත කිරීම අවදානම් සහගත යැයි වෛද්‍යවරු අනතුරු අඟවති. ඩෙංගු රක්තපාත රෝගීන් එන්.එස්.ඒ.අයි.ඩී. (NSAID) භාවිත කිරීමෙන් ඔවුන්ගේ අක්මාව නරක් වී  මරණයට පත් වීමේ ප්‍රවණතාවයක් පවතින බව ද වෛද්‍යවරු පෙන්වාදෙති. එම නිසා ඩෙංගු හෝ වෙනත් උණ රෝග හෝ සඳහා වෛද්‍ය අනුමැතියකින් තොරව පැරිසිටමෝල්වලට අමතරව NSAID වර්ගයේ ඖෂධ ලබාගැනීම අහිතකර යැයි වෛද්‍යවරු මහජනතාවට උපදෙස් දෙති. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.