Hashtag Generation

“පොස්ටිනෝ බිව්වාම ලස්සන වෙනවා” යැයි කියන ප්‍රකාශ මහජනතාව නොමඟ යවයි.

“ලස්සන වෙන්න මේ බෙහෙත බීලා නැති ගෑල්ලමයෙක් ඉන්නවා නම් මම හෙට උනත් බදිනවා” පොස්ටිනෝර් (Postinor) උපත් පාලන පෙති සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ දී උපහාසාත්මක  සටහන් (Posts) සමාජ මාධ්‍ය තුළ විශේෂයෙන්ම (Facebook)  තුළ පළ වී තිබිණි.  

එලෙස සංසරණය වූ සටහනේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

මෙම ප්‍රකාශය, ෆේස්බුක් සටහන (Facebook Post) උපහාසාත්මක ආකාරයෙන් නිර්මාණය කර තිබුණ ද මෙවැනි ප්‍රකාශ නිසා උපත් පාලන පෙති සහ උපත් පාලන ක්‍රමවේද ගැන අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගැනීම යනාදිය සම්බන්ධයෙන් දුර්මත සමාජගත වීමට ඇති අවස්ථාව අප හඳුනාගත්තේ ය.  

පොස්ටිනෝ (Postinor) යනු අනාරක්ෂිත ලිංගික සංසර්ගයකින් පසුව හෝ අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගැනීම සඳහා  භාවිත කරන හදිසි උපත් පාලන පෙති වර්ගයක් සදහා වන වෙළෙද නාමයකි. 

පවුල් සැලසුම් ක්‍රමය අසාර්ථක යැයි සැකයක් ඇති වූ විට (කොන්ඩමය සිදුරු වීම හෝ ගැලවී යාම, ආරක්ෂිත කාලසීමාව වැරැදි ලෙස ගණනය කළ අවස්ථාවක, ලූපය යම් හේතුවකින් ඉවතට පැමිණි මොහොතක ආදී අවස්ථාවක) හෝ ලිංගික අතවරයකට හෝ දූෂණයකට ලක් වූ අවස්ථා යනාදිය මෙහිදීදී හදිසි අවස්ථා ලෙස හැඳින්වේ. 

පොසිටිනෝ 1 සහ පොස්ටිනෝ 2 යනුවෙන් උපත් පාලන වර්ග දෙකක් තිබේ. 

මෙම පෙති ලබාගැනීමෙන් ගබ්සා වීමක් සිදු වන බවට සමාජයේ මිථ්‍යා මත පැවැතියත් එවැන්නක් සිදු නොවේ. 

මෙම ඖෂධය ක්‍රියාත්මක වන්නේ ඩිම්බ කෝෂ වලින් ඩිම්බ පිටවීම වැළැක්වීම හරහාය. ඊට අමතරව ගැබ් ගෙල හරහා ශුක්‍රාණු ගමන් කිරීම අඩපණ කිරීමත් ගර්භාෂය තුළ කලලයක් තැන්පත් වීමට නුසුදුසු පරිසරයක් ඇති කිරීමත් මේ මගින් සිදු වන බවට වෛද්‍යවරු අනුමාන කරති.

කලලයක් තැන්පත් වීමෙන් පසුව මෙම ඖෂධය ක්‍රියාත්මක නොවන බව ප්‍රසව හා නිරිවේද විශේෂඥ චාමින්ද මාතොට මහතා සඳහන් කර ඇත. ප්‍රසව හා නාරිවේද ගැටලු සදහා වෛද්‍ය උපදෙස් ලබාදෙන වෙබ් අඩවියක් වන VOG.LK වෙබ් අඩවියට ලිපියක් ලියමින් වෛද්‍ය චාමින්ද මහතා ඒ බව සඳහන් කර ඇත. මෙතැනින්.

පවුල් සැලසුම් සංගමයේ නිල වෙබ් අඩවියේ විවිධ උපත් පාලන ක්‍රම සම්බන්ධයෙන් මෙන් ම පොස්ටිනෝ උපත් පාලන පෙති සම්බන්ධයෙන් ද තොරතුරු ඇතුළත් වෙයි. මෙතැනින්. 

කෙසේ නමුත් බොහෝ ඖෂධ මෙන්, පොස්ටිනෝ ඖෂධය භාවිතයේ දී ද ඔක්කාරය, වමනය, කෑම අරුචිය, හිසරදය, පියයුරු වේදනවා සහ අක්‍රමවත් ඔසප් වීම වැනි අතුරු ආබාධ ඇති කළ හැකි යැයි වෛද්‍යවරු පවසති. මෙතැනින්

පවුල් සැලසුම් සංගමය ද,  පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස පොස්ටිනෝ පෙති නිතර භාවිතයට අනුමත නොකරන අතර මෙවැනි හදිසි උපත් පාලන ක්‍රම භාවිත කිරීම වැදගත් වන්නේ අත්‍යවශ්‍ය  විට සහ වෛද්‍යවරයකුගේ මගපෙන්වීම යටතේ ය. 

පොස්ටිනෝ වැනි අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වන ඖෂධ සම්බන්ධයෙන් සමාජය තුළ බෙහෙවින් දුර්මත දක්නට ලැබේ. එවැනි ප්‍රවණතා ද නිරන්තරයෙන් දක්නට ඇත. 

‘ලස්සන වීමට පොස්ටිනෝර් පෙති භාවිත කළ හැකිය’ යන ප්‍රකාශ ද ඒ සඳහා උදාහරණයකි. මෙය උපහාසාත්මක ෆේස්බුක් සටහනක් (Facebook Post) වුවත් මෙවැනි ප්‍රකාශ හෝ අදහස් හෝ නිසා සමාජය තුළ දුර්මත නිර්මාණය වේ. 

පොස්ටිනෝ යනු රූපලාවන්‍ය නිෂ්පාදනයක් නොවේ. පොස්ටිනෝ මගින් පුද්ගලයකුගේ බාහිර ශරීර පෙනුමට ඍජු බලපෑමක් සිදු වන බවට විද්‍යාත්මක සාක්ෂි නොමැත. හදිසි උපත් පාලන ක්‍රම පිළිබදව ලෝක සෞඛ්‍ය සංවිධානය කරුණු පත්‍රිකාවක් නිකුත් කර ඇති නමුත් මෙම පෙති පුද්ගලයෙකුගේ බාහිර පෙනුම කෙරෙහි බලපෑමක් සිදු කරන බවට දක්වා නැත. මෙතැනින් ද වැඩි විස්තර ලබාගත හැකි ය. 

බැලූ බැල්මට සත්‍ය හෝ සත්‍ය විය හැකි සිතෙන හෝ පෙනෙන හෝ සෞඛ්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් පරෙස්සම් වීම වැදගත් වේ. වෛද්‍ය උපදෙස් නොමැති ඖෂධ හෝ වෙනයම් හෝ ප්‍රතිකාර ලබාගැනීම කිසිසේත් නොකළ යුත්තකි.

නිගමනය: පොස්ටිනෝ යනු අනාරක්ෂිත ලිංගික සංසර්ගයකින් පසුව හෝ අනපේක්ෂිත ගැබ් ගැනීම් වළක්වා ගැනීම සඳහා හෝ ගැබ් ගැනීම වළක්වා ගැනීම සදහා භාවිත කරන හදිසි උපත් පාලන පෙති වර්ගයක් සදහා වන වෙළෙද නාමයකි. එය රූපලාවන්‍ය නිෂ්පාදනයක් නොවන අතර එමඟින් පුද්ගලයකුගේ බාහිර ශරීර පෙනුමට ඍජු බලපෑමක් කරන බවට කිසිදු විද්‍යාත්මක සාක්ෂියක් නොමැත. 

 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.