Hashtag Generation

‘බුදුන් වහන්සේව අපහාසාත්මකව නිරූපණය කරනා ජපන් කාටූන් බෙදාහදා ගැනීමේ භයානක රැල්ලක්!’ යන සිරස්තලයෙන් දිවයින පුවත්පතේ ලිපියක් පළ වූවා යැයි කියන ප්‍රකාශ ව්‍යාජයි.

‘බුදුන් වහන්සේව අපහාසාත්මකව නිරූපණය කරනා ජපන් කාටූන් බෙදාහදා ගැනීමේ භයානක රැල්ලක්!’ යන සිරස්තලය යටතේ දිවයින පුවත්පතේ පළ වූවා යැයි කියන ලිපියක ඡායාරූපයක් ඉකුත් දින කිහිපයේ දී සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. කීර්ති වර්ණකුලසූරිය මහතා ලියන ලිපියක් යැයි ද 2023 ජූනි මස 3 වැනිදා දිවයින පුවත්පතේ මෙම ලිපිය පළ වී ඇති බව ද එහි දැක්විණි. ෆේස්බුක් සහ ට්විටර් සමාජ මාධ්‍ය ජාල තුළ මෙම ඡායාරූපය සංසරණය වී තිබිණි. 

එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ෆේස්බුක් සටහන් (Facebook Posts) කිහිපයක සහ ට්විටර් පණිවුඩයක ඡායාරූපයක් පහතින් දැක්වේ. 

 

“බුදුන් වහන්සේව අපහාසාත්මකව නිරූපණය කරන ලද වැඩිහිටියන්ට පමණක් උචිත කාටූන් කතාමාලාවක් පිළිබදව හෙළ බොදු සේනා සහ කොළඹ සිහල බොදු උපාසක සංගමය එක්ව පොලිස්පතිතුමන්ව” දැනුවත් කළ බවත් සිහල බොදු සංගමය නමැති සංවිධානයක ප්‍රකාශක දැනියෙල් ප්‍රියසාත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බවත් අදාළ ඡායාරූපයේ දැක්විණි.   

මේ සම්බන්ධයෙන් සොයා බැලීමේ දී මුලින් ම 2023 ජූනි මස 3 වැනිදා සෙනසුරාදා දිවයින පුවත්පත පරීක්ෂා කළ අතර ජූනි 3 වැනිදා දිවයින පුවත්පතේ එවැනි කිසිදු ලිපියක් පළ කර නැති බව තහවුරු කරගත හැකි විය. දිවයින වෙබ් අඩවිය දිවයින පුවත්පත් 

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ උපාලි සේරම් මහතාගෙන් විමසීමක් කළේ ය. මෙවැනි ලිපියක් දිවයින පුවත්පතේ පළ නොකළ බව ඔහු තහවුරු කළේ ය. අදාළ ලිපියේ ඇති මුද්‍රිත අකුරු (Fonts) සහ පිටු සැකැස්ම (layout) දිවයින පුවත්පතේ භාවිතයට සම්පූර්ණයෙන්ම වෙනස් බව ද සේරම් මහතා පැවැසීය. අදාළ ඡායාරූපය දෙස බැලීමේදී ද එය තහවුරු වන අතර එය සංස්කරණය කරන ලද ඡායාරූපයක් බව පෙනී යයි. 

මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු දැනගැනීම සඳහා කීර්ති වර්ණකුලසූරිය මහතා සම්බන්ධ කරගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවීය. 

සිහල බොදු උපාසක සංගමය නමැති සංවිධානයක් මෙය සිය ෆේස්බුක් පිටුවේ පළ කර තිබූ අතර අදාළ ෆේස්බුක් පිටුව මැයි මාසයේ නිර්මාණය කළ එකක් බව එය පරීක්ෂා කිරීමේ දී දැකගන්නට ලැබිණි. 

 

නිගමනය : ‘බුදුන් වහන්සේව අපහාසාත්මකව නිරූපණය කරනා ජපන් කාටූන් බෙදාහදා ගැනීමේ භයානක රැල්ලක්!’ යන සිරස්තලය යටතේ දිවයින පුවත්පතේ ලිපියක් පළ වී නොමැති අතර එලෙස දැක්වෙන ඡායාරූපය ව්‍යාජ එකකි. එමෙන්ම මෙය උපහාසය මුල් කරගනිමින් නිර්මාණය කරන ලද්දක් බව ද නිගමනය කළ හැකි ය. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.