Hashtag Generation

FACT CHECK : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණීමට නොහැකි වුණේ ඇයි ?

ශ්‍රී ලංකාව මේ වනවිට උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටියි. ආර්ථික විද්‍යාඥයන්ට අනුව නම් නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණ දෙන උග්‍රතම ආර්ථික අර්බුදය මෙය වේ. මෙම අර්බුදයෙන් ගොඩඒමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු යැයි ඇතැම් ආර්ථික විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ.

මේ අතරවාරයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු ද ? එහි ප්‍රගතිය කෙසේ ද ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡා ප්‍රමාද වී ඇත් ද ? යනාදී කරුණු ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ, විශේෂයෙන්ම ෆේස්බුක් (Facebook) තුළ කතාබහක් ඇති වී තිබිණි.

මීට අදාළව හෑෂ්ටැග් පරපුර ඉකුත් දිනෙක ද කරුණු පරීක්ෂා (Fact Check) කරන ලදි.

ඊට මෙතැනින් පිවිසෙන්න.

මේ අතරවාරයේ දී විරෝධතා සහ රටේ ඇති වූ නොසන්සුන්තා නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවක් ඇති කරගැනීමට නොහැකි වූයේය යන අදහස ගෙන එන ප්‍රකාශයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මහනුවර දී ඉකුත් ජූලි 30 වැනිදා සිදු කළේ ය.

එම ප්‍රකාශයට මෙතැනින් සහ මෙතැනින්,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පවත්වන සාකච්ඡා සම්බන්ධයෙන් පළ කළ අදහස් පහතින් උපුටා දක්වා ඇත.

“මම අගමැති වෙලා මුදල් ඇමති පසුව IMF සමඟ සාකච්ඡා කළා. මේවට අපි සාකච්ඡා කරලා විසදුම් ගණනාවක් හොයාගෙන ආවා. මගේ පරමාර්ථය වුණේ ජූලි මාසයේදී එකඟත්වයකට ඇවිල්ලා අගෝස්තු පළවෙනි සතියේ IMF මණ්ඩලයෙන් අනුමත කරගන්න. ඒත් ජනවාරි 09 වෙනිදා ඉදන් අද වෙනකන් මුකුත් තිබුණේ නෑ. දැන් ඒක කල් යනවා. අගෝස්තු මාසේ අන්තිමට. මොකද පළවෙනි සතියෙන් පස්සේ නිවාඩු කාලේ. එතකොට අපිට අනුමත කරන්න පුළුවන් සැත්තැම්බර් මාසේ විතර. ඉතිං මේ මේ සංවිධාන ඔක්කොමින් වුණේ ඒක මේක කල් ගියා. මේ එකඟත්වය නැතුව වෙන කවුරුවත් මුදල් දෙන්නේ නෑ. අපි තවත් මේ දේශපාලනේ යනවද?”

ජනාධිපතිවරයාගේ කතාව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ද පුවත් වාර්තා කර තිබිණි.

ඒ.පි. පුවත් සේවය

රටේ පැවැති කලබලකාරී සහ  නොසන්සුන් තත්ත්ව හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවක් ඇති කරගැනීම සැප්තැම්බර් මාසය දක්වා කල්ගියේ යැයි ඒ.පී. පුවත් සේවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කතාව උපුටා දක්වමින් වාර්තා කර තිබිණි.

ඒ.පී. පුවත් සේවයේ පුවත් වාර්තාව උපුටා දක්වමින් තවත් විදෙස් මාධ්‍ය කිහිපයක් ද ඒ බව වාර්තා කර තිබිණි.

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විමසීමක් කළේ ය.

“ශ්‍රී ලංකාවේ තත්ත්වය අපි සමීපව නිරීක්ෂණය කරන්නෙමු. ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමඟ අපි තාක්ෂණික මට්ටමේ සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යන්නෙමු. විස්තීර්ණ මූල්‍ය පහසුකමකට අදාළව කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති කරගැනීම සඳහා නව පරිපාලනය සමඟ ප්‍රතිපත්තිමය සාකච්ඡා ආරම්භ කිරීමට අපි සූදානම්”.

  • “We are closely monitoring the ongoing developments in Sri Lanka. We are continuing technical discussions with our counterparts in the Ministry of Finance and Central Bank of Sri Lanka and are ready for policy discussions with the new administration towards reaching a staff-level agreement on the EFF arrangement.”

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අනුමැතිය ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇති වැඩසටහනක් අතර සහ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාව අතර වෙනසක් ඇති බව සිහි තබා ගැනීම වැදගත්. ශ්‍රී ලංකාවේ ණය තිරසර නොවන බව තක්සේරු කර තිබීම ඊට හේතුවයි. විධායක මණ්ඩලයේ අනුමැතිය ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇති වැඩසටහනක් සඳහා ණය තිරසරත්වය නැවත ස්ථාපිත කරන බවට ප්‍රමාණවත් සහතිකයක් අවශ්‍ය යි.”

  • “It is important to remember that an SLA is different from approval of an IMF-supported program by the Executive Board. Because Sri Lanka’s debt is assessed as unsustainable, the Executive Board approval of an IMF-supported program would require adequate assurances that debt sustainability will be restored.”

නිගමනය : ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමකට නොහැකි වී ඇත්තේ ණය තිරසරත්වය ඇති කිරීමට නොහැකි වීමත් ප්‍රමාණවත් මූල්‍ය සහතිකයක් ලබාදීමට නොහැකි වීමත් යන කරුණු නිසා ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවස්ථා කිහිපයකදීම ඒ බව අවධාරණය කර තිබේ.

මෙතැනින්මෙතැනින්මෙතැනින්මෙතැනින්මෙතැනින්,

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.