“කටුනායකින් රට ගියොත් ඩොලර් 60ක බද්දක්” යනුවෙන් දැක්වෙන ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය ජනවාරි මස දෙවැනි හා තෙවැනි සතිවලදී නිරීක්ෂණය විය. ප්‍රධාන ධාරාවේ පළ වූ ප්‍රවෘත්තියක් පාදක කරගනිමින් එලෙස කතාබහක් ඇති වී තිබෙන අයුරු ද නිරීක්ෂණය විය. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටත්වන පුද්ගලයන්ට ඩොලර් 60 ක නව අපගමන බද්දකට (Embarkation Levy) යටත් වන බව එම ප්‍රවෘත්තිවලින් කියැවිණි. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, රත්මලාන ජාත්‍යන්තරගුවන් තොටුපොළ, යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ කොළඹ වරාය යන අපගමන ස්ථානවලින් රටින් පිටවන පුද්ගලයන්ට මෙම බද්ද වලංගු වන බව ඒවායේ දැක්විණි. කෙසේ නමුත් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් පිටත්වන පුද්ගලයන්ට මෙය අදාළ නොවන බවත් එම පුවත්වල දැක්විණි. ඒත් සමඟ මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළද දැඩි කතාබහක් නිර්මාණය වී තිබිණි. උපහාසය දනවන ආකාරයේ අන්තර්ගත ද මෙහි දී නිරීක්ෂණය විය.
මේ සම්බන්ධයෙන් හෑෂ්ටැග් පරපුර කරුණු විමසා බැලී ය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටව යන පුද්ගලයන් එක්සත් ජනපද ඩොලර් 60ක අපගමන බද්දකට (Embarkation Levy) යටත් වන බව ද එම ප්රවෘත්තිවල සඳහන්ව තිබිණි.
මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතු ව මීට අදාළව නිවේදනයක් නිකුත් කර තිබිණි.
අදාළ නිවේදනය පහතින් දැක්වේ.
සම්පූර්ණ නිවේදනයට මෙතැනින්
මෙය අලුත් බද්දක් ද?
“අපගමන බද්ද අලුත් බද්දක් නෙමෙයි” යැයි මුදල් අමාත්‍යාංශයේ බදු උපදේශක තනුජා පෙරේරා මහත්මිය පැවැසුවා ය.
‘වත්මන් ආර්ථික තත්ත්ව සහ එහි අභියෝග’ පිළිබඳව විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් තනුජා පෙරේරා මහත්මිය ජනවාරි 19 දා මේ බව ප්‍රකාශ කළා ය.
“අපගමන බද්ද නව බද්දක් නොවේ. එය කාලයක් තිස්සේ පැවැති බද්දක්. පාස්කු ප්‍රහාරය සිදුවීමෙන් අනතුරුව කෙටි කාලයක් සඳහා සංචාරකයන් ගෙන්වා ගැනීමට අපි එම බද්ද අඩු කිරීමට පියවර ගත්තා” යැයි තනුජා පෙරේරා මහත්මිය කීවා ය.
මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු දැනගැනීම සඳහා හෑෂ්ටැග් පරපුර මුදල් අමාත්‍යාංශයෙන් විමසීමක් කළේ ය.
මෙය නව බද්දක් නොවන බවත් මෑතකදී යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ කොළඹ වරාය ඇතුළත් කර එක් ගැසට් පත්‍රයක් මගින් මෙම බදු ප්‍රකාශයට පත් කළ බවත් හෑෂ්ටැග් පරපුර කළ විමසීමේදී මුදල් අමාත්‍යාංශයේ සහකාර ලේකම් ඈන් දාබරේ මහත්මිය සඳහන් කළා ය.
කෙසේ නමුත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට මෙම ගැසට් පත්‍රය තවමත් ඇතුළත් කර නොමැත. මේ සම්බන්ධයෙන් හෑෂ්ටැග් පරපුර මුදල් අමාත්‍යාංශයෙන් විමසීමක් කළ අතර අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බව එහි නිලධාරිනියක් සඳහන් කළා ය. හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් විමසූ අතර තවමත් එය ‘Online’ අංශය වෙත ලැබී නොමැති බවත් එය එම අංශයට ලැබූ සැණින් වෙබ් අඩවියට ඇතුළත් කරන බවත් එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සඳහන් කළේ ය.
2003 අංක 25 දරන එම පනත ,
මෙම අදාළ බදු මුදල් ගුවන් ප්‍රවේශ පත්‍රයට එකතු වන බවත් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණෙන ගුවන් සමාගම් සඳහා අවුරුදු දෙකක සහන කාලයක් ලබා දී ඇති බවත් ඇය පැවැසුවා ය.
එමෙන්ම වත්මන් ආණ්ඩුව නව බද්දක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 60 අපගමන බද්දක් පනවා නොමැති බව මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබිණි. මෙතැනින්
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ද මේ බව පැහැදිලි කරමින් සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් පළ කර තිබිණි. මෙතැනින් .
නිගමනය : මේ අනුව ගුවන් තොටුපොළවලින් සහ වරායවලින් පිටවන පුද්ගලයන්ට පනවා ඇත්තේ අලුත් බද්දක් නොවන බව නිගමනය කළ හැකි ය. මෙය කලින් පැවැති අපගමන බද්ද යාවත්කාලීන කිරීමකි. කෙසේ නමුත් මෑතකදී යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ කොළඹ වරාය ඇතුළත් කර එක් ගැසට් පත්‍රයක් මගින් මෙම බදු ප්‍රකාශයට පත් කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ සහකාර ලේකම් ඈන් දාබරේ මහත්මිය ප්‍රකාශ කළාය. ඇයට අනුව, මෙම අදාළ බදු මුදල් ගුවන් ප්‍රවේශ පත්‍රයට එකතු වන අතර මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණෙන ගුවන් සමාගම් සඳහා පමණක් අවුරුදු දෙකක සහන කාලයක් ලබා දෙන බව අදාළ ගැසට් පත්‍රයේ දැක්වේ. කෙසේ නමුත් අදාළ ගැසට් පත්‍රය තවමත් (2023 මාර්තු 01) රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළ කර නොමැත.
අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.