Hashtag Generation

FACT CHECK : සියයට 25ක අධිභාර බද්දක් පනවයි ?

‘මෙන්න දැන් ලැබුණු’ ප්‍රවෘත්තියක් යනුවෙන් සඳහන් කෙරෙන විඩියෝ පටයක් පෙබරවාරි 7 උදෑසන සිට වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වන අයුරු නිරීක්ෂණය විය. සිරස නාලිකාවේ, නිව්ස් ෆස්ට් (News First) ප්‍රවෘත්තියක් මෙලෙස සංසරණය වන අයුරු නිරීක්ෂණය වූ අතර සියයට 25ක අධිභාර බද්දක් පැනවීමට අදාළ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇතැයි ද  අදාළ  පනත් කෙටුම්පතෙන් සේවක අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂිත අරමුදල් ද ඇතුළත් වන අයුරින් වගන්ති ඇතුළත් කර ඇතැයි ද අදාළ ප්‍රවෘත්තියේ සඳහන් විය.

දැන් ලැබුණු ප්‍රවෘත්තියක් (ජස්ට් ඉන් (Just In)) අදාළ විඩියෝ ආරම්භයේ නිවේදකයා සඳහන් කරයි.

මෙම විඩියෝ පටයේ 15 වැනි තත්පරය වනවිට අදාළ ප්‍රවෘත්තියේ දිනය පැහැදිලිව දැක ගත හැකි වන අතර එහි 07.02.2022 පැහැදිලි ව දැක්වේ.

එමෙන්ම වට්ස්ඇප් (WhatsApp) හරහා සංසරණය වන මෙම විඩියෝපටයේ ඉහළින් Forwarded many times  යන්න ද පැහැදිලිව දැකිය හැකි ය. 

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් කළ සොයාබැලීමේදී මෙය පසුගිය වසරේ (2022) පෙබරවාරි 7 වැනිදා පළ වූ ප්‍රවෘත්තියක් බව තහවුරු විය. අදාළ ප්‍රවෘත්ති වාර්තාවට  මෙතැනින්.

ඉහත සඳහන් කෙරෙන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර කතානායකවරයා ඉකුත් වසරේ අප්‍රේල් මස 8 වැනිදා ඊට අත්සන් තැබීය. මෙතැනින්

වත්මන් ආණ්ඩුව පනවන ලද බදු සම්බන්ධයෙන් සමාජය තුළ මේ දිනවල දැඩි විවේචනයක් පවතින අතර විරෝධතා පැවැත්වෙයි. එවැනි පසුබිමක මෙවැනි පැරැණි ප්‍රවෘත්ති නැවත සමාජගත කිරීමේ මහජනයා නොමඟ යැවෙන අතර නොසන්සුන්තා වුව ද හටගත හැකි ය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.