Hashtag Generation

FACT CHECK : වෘෂණ කෝෂ ජාවාරමේ පිටුපස සිටින්නේ වෛද්‍ය ෂාෆිගේ බිරිඳ ද ?

කොළඹ පෞද්ගලික රෝහලක සිදුවන බව කියන වෘෂණ කෝෂ ජාවාරමක් සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතින් දෙසැම්බර් 2 වැනිදා අනාවරණය කෙරුණි. දෙරණ රූපවාහිනි නාලිකාව දෙසැම්බර් 3 වැනිදා මේ සම්බන්ධයෙන් වාර්තා කළේ ය. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ මේ අනාවරණය වීමත් සමඟ සමාජ මාධ්‍ය පරිශීලකයන් අතර ද මේ සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇති විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා මෙම වෘෂණ කෝෂ ජාවාරම පිළිබදව ප්‍රකාශයක් සිදු කළා යැයි කියමින් සමාජ මාධ්‍ය තුළ සටහනක් (Post) හුවමාරු වන ආකාරයක ඉකුත් දින කිහිපයේදී දක්නට ලැබිණි. “වෘෂණ කෝෂ ජාවාරම පිටුපස සිටින්නේ වෛද්‍ය ෂාෆිගේ බිරිඳ” බව මහාචාර්ය චන්න ජයසුමන පවසා ඇතැයි එම සටහනේ දක්නට ලැබිණි. ‘දිනමිණ’ පුවත්පත මෙය වාර්තා කරන බව ඇඟවෙන පරිදි අදාළ සටහනේ පහළින් ‘දිනමිණ’ පුවත්පතේ ලාංඡනය ද යොදා තිබිණි.

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීය. මුලින්ම අප දිනමිණ පුවත්පතේ වෙබ් අඩවිය (Website) සහ ෆේස්බුක් (Facebook Page) පිටුව පරික්ෂා කළේය. ඊට අමතරව ඉකුත් සතියේ දිනමිණ පුවත්පත ද නිරීක්ෂණය කළේ ය.

දිනමිණ පුවත්පතේ හෝ දිනමිණ ප්‍රවෘත්ති වෙබ් අඩවියේ හෝ ඔවුන්ගේ ෆේස්බුක් පිටුවේ මෙවැනි කිසිදු ප්‍රවෘත්තියක් වාර්තා කර නොමැති බව එහිදි අනාවරණය විය. හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ගාමිණි ජයලත් මහතාගෙන් ද විමසීමක් කළේ ය. එවැනි කිසිදු ප්‍රවෘත්තියක් දිනමිණ පුවත්පතේ හෝ වෙබ් අඩවියේ හෝ වාර්තා නොකළ බව හෙතෙම එහිදි පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතාගෙන්ද හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර තමන් කිසිදු අවස්ථාවකදී එවැනි ප්‍රකාශයක් නොකළ බව ඔහු පැවැසීය. තමන් අපහසුතාවයට පත් කිරීමේ වුවමනාව ඇති ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍යවල මෙවැනි ව්‍යාජ සටහන් පළ කරන බව ඔහු කීය.

මේ අනුව “වෘෂණ කෝෂ ජාවාරම පිටුපස වෛද්‍ය සාෆිගේ බිරිඳ සිටිනවා” යැයි මහාචාර්ය චන්න ජයසුමන පැවැසූවා යැයි සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන සටහන ව්‍යාජ යැයි නිගමනය කළ හැකි ය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.