Hashtag Generation

“P/500 ලෙස එන පැරසිටමෝල් නොගැනීමට ප්‍රවේශම් වන්න” යැයි වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වන පණිවුඩය ව්‍යාජයයි.

ඉකුත් සති කිහිපය තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ ඖෂධ සම්බන්ධයෙන් විශාල කතාබහක් සමාජ මාධ්‍ය තුළ නිර්මාණය වී තිබිණි. එවැනි පසුබිමක “P/500 ලෙස ලියා එන පැරසිටමෝල් නොගැනීමට ප්‍රවේශම් වන්න” යනුවෙන් සඳහන් පණිවුඩයක් වට්ස්ඇප් (WhatsApp) ඇතුළු පණිවුඩ ජාලවල සංසරණය වන ආකාරයක් දක්නට ලැබිණි.

ඉහත සඳහන් කර තිබූ පණිවුඩය විශේෂයෙන්ම  වට්ස්ඇප් (whatsApp) පණිවුඩ ජාලය තුළ සංසරණය වන ආකාරය නිරීක්ෂණය වූ අතර එම පණිවුඩය දක්වෙන තිර ඡායාරූපයක් (Screenshot) පහතින් දැක්වේ. 

මෙම පණිවුඩය 2017 වසරේදී ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී ඇති බව මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේ දී අනාවරණය විය. 

එලෙස මෙම පණිවුඩය 2017 වසරේ දී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ආකාරය දැක්වෙන තිර ඡායාරූපයක් (screenshot) පහතින් දැක්වේ. 

P/500 පැරසිටමෝල් වර්ගය කැක්කුම් සහ වේදනාවලට ප්‍රතිකාර කිරීම සඳහා බහුලව භාවිත කරන වේදනා නාශකයකි.  ශරීර උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වය ඉක්මවා ගිය පසු ශරීර උෂ්ණත්වය අඩු කිරීම භාවිත කරන ප්‍රතිජීවක ඖෂධයක් ලෙස ද මෙය භාවිත කෙරේ.  P/500 පැරසිටමෝල් පිළිබදව වැඩිදුර කරුණු දැනගැනීමට මෙතැනින්.

ලොව පුරා මෙම ඖෂධය හඳුන්වන්නේ පැරසිටමෝල් යන ඖෂධ නාමයෙනි.   පැරසිටමෝල් ඖෂධයට බොහෝ වෙළඳ නාම ඇති අතර parmol,Maxmol, paracetamol, astamol, pyrol, ලෙස විවිධ නාමවලින් වෙළෙඳපොළේ හඳුන්වන බව කොළඹ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මිය සඳහන් කළා ය. 

පැරසිටමෝල් සම්බන්ධයෙන් මහාචාර්යවරිය සිළුමිණ පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවට  මෙතැනින් .

මේ සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිලි කරගැනීම සඳහා හෑෂ්ටැග් පරපුර කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධ වෛද්‍යවේදය පිළිබඳ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති මහත්මියගෙන් විමසීමක් කළේ ය. 

මෙම පණිවුඩය අසත්‍ය පණිවුඩයක් බවත් P/500 ලෙස හදුන්වන පැරසිටමෝල් පෙත්ත තුළ එවැනි වෛරසයක් අඩංගු නොවන  බවත් ඇය පැවැසුවා ය. 

වට්ස්ඇප් (WhatsApp) තුළ සංසරණය වන සටහන් වල දැක්වෙන ආකාරයට පැරසිටමෝල් ඖෂධය තුළ අන්තර්ගත යැයි කියැවෙන මචූපෝ (Machupo) වෛරසය 1959 දී හදුනා ගෙන ඇති අතර 1960 ගණන්වල  මුල් භාගය දක්වා බොලිවියාවේ රක්තපාත උණ ලෙස බොලිවියාවේ ග්‍රාමීය ප්‍රදේශවල පැතිර ඇත. බොලිවියානුවන් ලේ ගැලීම්, අධික උණ සහ වේදනාව නිසා මෙම රෝගය “Black Typhus” යනුවෙන් ද හඳුන්වා ඇත. 

මචූපෝ වෛරසය පිළිබදව තව දුරටත් දැන ගැනීමට මෙතැනින්,මෙතැනින්.

මෙරට සමාජ මාධ්‍ය තුළ මෙම පණිවුඩය හුවමාරු වීමට පෙරාතුව වෙනත් රටවල් කිහිපයක ද මෙම පණිවුඩය සංසරණය වී ඇති ආකාරය මේ සම්බන්ධයෙන් කළ නිරීක්ෂණ වල දී සොයාගැනීමට හැකියාව ලැබිණි. 

P/500 පැරසිටමෝල් වල මෙම පණිවුඩවල දැක්වෙන ආකාරයට මාචුපෝ නැමැති වෛරසයක් අඩංගු නොවන බව දක්වමින්  මැලේසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.  එම නිවේදනයට මෙතැනින්.

මේ සම්බන්ධයෙන් සිංගප්පූරු රජයේ සෞඛ්‍ය විද්‍යා අධිකාරිය (HSA) ද  උපදේශන සටහනක් නිකුත් කර ඇත. එම උපදේශන සටහන පහතින්. 

මෙම පණිවුඩය මේ වසරේ ජුනි මාසයේ දී  ඉන්දියාව තුළ ද සංසරණය වී ඇති අතර ‘ද ටයිම්ස් ඔෆ් ඉන්දියා’ ඒ පිළිබදව කරුණු පරීක්ෂණයක් සිදු කර ඇත. මෙතැනින්. 

එමෙන් ම ඇෆ්රිකා චෙක් (Africa Check) සිදු කළ  කරුණු පරීක්ෂණය සදහා  මෙතැනින්

නිගමනය: “P/500 ලෙස හැදින්වෙන පැරසිටමෝල් නොගැනීමට ප්‍රවේශම් වන්න” යනුවෙන් වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සංසරණය වන පණිවුඩය අසත්‍යක් වේ.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.