Hashtag Generation

SLT මොබිටෙල් මඟින් මුදල් ත්‍යාග ලබා දෙන බවට ලැබෙන දුරකථන ඇමතුම් ව්‍යාජයි.

විවිධ සන්නාම භාවිතා කරමින් ව්‍යාජ ලෙස මුදල් ඉපයීමේ ක්‍රියාවන් අද වන විට බහුලව දැකිය හැකිය. ඒ සඳහා ඔවුන් උපක්‍රමශීලී ක්‍රම භාවිතා කරනු ලබන අතර පුද්ගලයින්ව ඒ වෙත පොළඹවා ගැනීම එහි ප්‍රමුඛ අරමුණයි.

ශ්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල් (SLT Mobitel) ආයතනයේ M -Cash සේවාව මඟින් ලක්ෂ 5 ක මුදල් ත්‍යාගයක් දිනාගත් බව සඳහන් කරමින් පුද්ගලයකුට ගනු ලැබූ දුරකථන සංවාදයක පටිගත කළ හඬ පටයක් පසුගියදා ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. 

එලෙස සංසරණය වූ වීඩියෝවේ තිර ඡායාරූපයක් (screenshot) පහතින් දැක්වේ.

SLT මොබිටෙල් ආයතනය මඟින් මුදල් ත්‍යාගයක් ලබා දෙන බව සඳහන් පටිගත කළ හඬ පටය ව්‍යාජ එකක් බව සඳහන් කරමින් ෆේස්බුක් මාධ්‍ය තුළ වීඩියෝව පළ වී තිබුණි. “මේ මට අද (2024/07/16) හවස ආව Fake කෝල් එකක්…මට Mobitel එකෙන් ලක්ෂ පහක දිනුමක් තියෙනවා කියලා. ඉවර වෙනකන් අහන්න… අහිංසක මිනිස්සු කීදෙනෙක් නම් රැවටෙනවා අහුවෙනවා ඇතිද…Call එක ආව නම්බර් එක 070-3223419” යනුවෙන් ෆේස්බුක් වීඩියෝව ඇතුළත් සටහනේ සඳහන් වී තිබුණි. “ මොබිටෙල් ආයතනයේ මූල්‍ය අංශයෙන් දුරකථන ඇමතුම ලබාගත් බවත් M-Cash හරහා ලබා දෙනු ලබන ලක්ෂ 5ක මුදල සම්බන්ධයෙන් කෙටි පණිවුඩ යොමු කළ නමුත් ඒ පිළිබඳ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අදාළ ත්‍යාග මුදල මිනිත්තු 30 ක් ඇතුළත අවලංගු වන බවත්” දුරකථන ඇමතුමේ සඳහන් වේ. තවද දුරකථන ඇමතුමේ රැදී සිටියදී ගොස් එම මුදල ලබා ගන්නා ලෙසත් මුද්දර සඳහා රුපියල් 9800ක පමණ මුදලක් ගෙවීමට සිදුවන බවත් මුදල් ලබා ගන්නා ආකාරය පිළිබඳව දුරකථන ඇමතුමෙන් උපදෙස් ලබා දෙන බවත් දුරකථන ඇමතුම ලබා ගන්නා පුද්ගලයා අදාළ පුද්ගලයාට පවසයි.

මෙලෙස මුදල් ත්‍යාග ලබා දෙන බව සඳහන් කරමින් ගත් දුරකථන ඇමතුමේ සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

ඒ අනුව මෙවැනි ප්‍රවර්ධන වැඩසටහනක් සම්බන්ධයෙන් යම්කිසි නිවේදනයක් හෝ තොරතුරක් සඳහන් වී ඇද්දැයි යන්න විමසා බැලීම සදහා  ශ්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල් ආයතනයේ ⁣වෙබ් පිටුව නිරීක්ෂණය කළේය. මුදල් ත්‍යාග ලබා දෙන බව සඳහන් කිසිඳු ප්‍රවර්ධන වැඩසටහනක් හෝ ව්‍යාපෘතියක් පිළිබඳ තොරතුරු වෙබ් පිටුව තුළ සඳහන් වී තිබුණි.

ඉන්පසුව ශ්‍රී ලංකා මොබිටෙල් ආයතයේ පාරිභෝගික සේවා අංශයෙන් මේ පිළිබඳව විමසනු ලැබිණි. එහිදී මෙම දුරකථන ඇමතුම ව්‍යාජ එකක් බවත් එවැනි මුදල් ත්‍යාග ලබා දීමේ ප්‍රවර්ධන වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මක නොවන බවත් ඔවුන් තහවුරු කළේය. මෙය  ඔවුන්ගේ සන්නාමය භාවිතා කරමින් වංචනික ලෙස මහජනතාවගෙන් මුදල් ඉපයීමට සිදු කර ඇති දෙයක් බවද SLT මොබිටෙල් ආයතනය වැඩිදුරටත්  පැවසීය.

තාක්ෂණික ක්‍රමෝපායන් දියුණු වීමත් සමග ඒවා භාවිත කොට පුද්ගලයින්ව විවිධාකාරයේ රැවටිලිවලට හසු කරගැනීමේ සිදුවීම් අද වන විට බහුලව දැකිය හැකිය. මෙම දුරකථන ඇමතුම ද ඒ ආකාරයේ සිදු වීමකි. මෙවැනි දුරකථන ඇමතුම්, කෙටි පණිවුඩ ලැබුණු වහාම එහි මූලාශ්‍රය පරීක්ෂා කර බලා එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගෙන ක්‍රියා කරන ලෙස අපි මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු.

නිගමනය : ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ මුදල් ත්‍යාගයක් ජයග්‍රහණය කර ඇති බව සඳහන් කරමින් ගත් දුරකථන ඇමතුම් සංවාදයක හඬ පටයක් ෆේස්බුක්වල සංසරණය විය. එලෙස මුදල් ලබා දීමේ ප්‍රවර්ධන ව්‍යාප්තියක් ක්‍රියාත්මක නොවන බවත් මෙය මොබිටෙල් සන්නාමය භාවිතා කරමින් ලබා ගත් ව්‍යාජ දුරකථන ඇමතුමක් බවත් ශ්‍රී ලංකා ටෙලිකොම් – මොබිටෙල් ආයතනය තහවුරු කළේය. ඒ අනුව ලක්ෂ 5 මුදල් ත්‍යාගයක් ජයග්‍රහණය කර ඇති බව සඳහන් කරමින් ලබා ගත් ඇමතුම ව්‍යාජ එකක් බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න