Hashtag Generation

අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා සහ නාමල් කරුණාරත්න එකට හිඳ ආහාර ගනු ලබන ඡායාරූපය ඊයේ පැවැති මැයි දින රැලියකදී ගනු ලැබූ ඡායාරූපයක්ද?

කම්කරු දිනය වෙනුවෙන් මැයි දින රැලි සහ පෙළපාලි රැසක් ඊයේ දිනයේදී විවිධ ප්‍රදේශවල පැවැත්විණි. විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කරමින් විශාල ජනකායක් ඒ සඳහා සහභාගී වී තිබෙණු දැකගත හැකි විය. මැයි දින රැළි අවසන් වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විවිධාකාර සටහන්, ඡායාරූප ආදිය ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල සංසරණය විය. 

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා, එම පක්ෂයේ විධායක සාමාජිකයින් වන ටිල්වින් සිල්වා මහතා සහ නාමල් කරුණාරත්න මහතා එකට හිඳ ආහාර ගනු ලබන ඡායාරූපයක් සහිත සටහනක් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබෙනු දැකගත හැකි විය. 

එලෙස සංසරණය වූ ෆේස්බුක් සටහන් කිහිපයක තිර ඡායාරූප (screenshot) පහතින් දැක්වේ.

මෙය පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායමහතා, ටිල්වින් සිල්වා සහ නාමල් කරුණාරත්න යන  අය එකට හිඳ ආහාර ගනු ලබන ඡායාරූපයක් වන අතර මෙම සටහනේ “අපි සරල මිනිස්සු විකට චිත්‍රපටයේ රූගත කිරීම් දැන් ඇරඹුණා” යනුවෙන් සඳහන් වේ. එමෙන්ම මෙම ඡායාරූපය ඊයේ දිනයේදී (2024 මැයි පළමුවනදා ) ජාතික ජන බලවේගයේ මැයි දින රැළි ආරම්භ වීමට ආසන්න අවස්ථාවකදී සමාජ මාධ්‍ය තුළ සංසරණය වනු දැක ගත හැකි විය. ජාතික ජන බලවේගයේ මැයි දින රැළි ආරම්භ වන අවස්ථාවේදී ම මෙම ඡායාරූපය “අපි සරල මිනිස්සු විකට චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹුණා” යන ශීර්ෂ පාඨය සහිතව හුවමාරු කිරීම තුළින් මෙම ඡායාරූපය එම අවස්ථාවේදී ගත් ඡායාරූපයක් බවට සනාථ කිරීමට උත්සහ දරා ඇති බවක් පෙනී යයි.

එමෙන් ම මෙම ඡායාරූපය සහිත සටහනට බොහෝ පිරිසක් ප්‍රතිචාර දක්වා තිබූ නිසාත් ඉන් ඇතැම් ප්‍රතිචාර තුළ මෙය පරණ ඡායාරූපයක් බව සඳහන්ව තිබූ නිසාත් මෙහි සත්‍ය අසත්‍යතාවය විමසා බැලීමට හෑෂ්ටැග්  පරපුර තීරණය කළේය.

ඒ අනුව පළමුවෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ, ටිල්වින් සිල්වාගේ සහ නාමල් කරුණාරත්න යන අයගේ නිල ෆේස්බුක් ගිණුම් තුළ මෙවැනි ඡායාරූපයක් හුවමාරු වී ඇත්දැයි විමසා බැලිණි. එහිදී එවැනි ඡායාරූපයක් දැක ගැනීමට නොහැකි විය. 

තවද නාමල් කරුණාරත්න මහතාගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම තුළ ඊයේ දිනයේදී අනුරාධපුරයේ පැවැති මැයි දින රැළියට සහභාගී වන අතරවාරයේදී බස් රථය තුළ ගනු ලැබූ ඡායාරූප පෙළක් අපට දැකගත හැකි විය. “ගමේ අයත් එක්ක.. අනුරාධපුර මැයි දින සැමරුමට යන ගමන්….” යනුවෙන් එහි සඳහන් වී තිබුණි. එමෙන් ම නාමල් කරුණාරත්න සහභාගී වූ අනුරාධපුර මැයි දින රැලියට අදාළ ඡායාරූප කිහිපයක් ද ඔහුගේ නිල ෆේස්බුක් පිටුව තුළ දැකගත හැකි විය. 

තවද අනුර කුමාර දිසානායක මහතාගේ නිල ෆේස්බුක් ගිණුම තුළ ජාතික ජනබලවේගයේ කොළඹ සහ මාතර පැවැති මැයි දින රැලි සඳහා සහභාගි වී සිටින  ඡායාරූප පෙළක් දැකගත හැකි වූ අතර කොළඹ සහ මාතර පැවති මැයි දින සැමරුම් සඳහා අනුර කුමාර දිසානායක මහතා සහභාගිවී සිටින ආකාරය ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ද දැක ගත හැකි විය.

එමෙන් ම මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු තහවුරු කර ගැනීම සඳහා අප ජාතික ජන බලවේගයේ මාධ්‍ය ලේකම් උපුල් රංජන් මහතාගෙන් විමසීමක් කළේය. ඊයේ දිනයේ ෆේස්බුක් තුළ සංසරණය වන ඡායාරූපය මීට පෙර පැවැති මැයි දින රැලියකදී ගනු ලැබූ ඡායාරූපයක් බව ඒ මහතා තහවුරු කළේය. මෙම ඡායාරූපය ගත් දිනය පිළිබඳව හරියටම කිව නොහැකි නමුත් ඊයේ දිනයේ ගනු ලැබූවක් නොවන බව ඔහු පැවසීය.

ඊයේ දිනයේ පැවති මැයි දින රැලි තුළදී අනුර කුමාර දිසානායක මහතා හෝ නාමල් කරුණාරත්න මහතා හමු නොවූ බව ජාතික ජන බලවේගයේ පක්ෂ මාධ්‍ය ලේකම්වරයා  පැවසීය. නාමල් කරුණාරත්න මහතා අනුරාධපුරයේ පැවති ජාතික ජන බලවේගයේ මැයි දින රැලියට සහභාගී වූ අතර අනුර කුමාර දිසානායක මහතා කොළඹ සහ මාතර පැවැති මැයි දින රැලි සඳහා සහභාගී වූ බව උපුල් රන්ජන් මහතා අප කළ විමසීමේදී වැඩිදුරටත් පැවසීය.

තවද මෙම ඡායාරූපය මීට පෙර අවස්ථාවකදී ගනු ලැබූවක් බව සඳහන් කළ නිසා මේ පිළිබඳව තවදුරටත් සමාජ මාධ්‍ය තුළ නිරීක්ෂණය කළ අතර එහිදී මෙම ඡායාරූපය මීට වසරකට පෙර ද (2023) ෆේස්බුක් තුළ සංසරණය වී තිබෙණු දැකගත හැකි විය. එහි තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

නිගමනය : ඊයේ දිනයේදී ෆේස්බුක් තුළ හුවමාරු වූ ජාතික ජන බලවේගයේ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සහ එම පක්ෂයේ විධායක සාමාජිකයින් වන ටිල්වින් සිල්වා සහ නාමල් කරුණාරත්න මහතා යන අය එකට හිඳ ආහාර ගනිමින් සිටින ඡායාරූපය ඊයේ දිනයේදී ගනු ලැබූවක් නොව මීට පෙර ගනු ලැබූ ඡායාරූපයක් බව තහවුරු විය. ඒ අනුව  මෙම ඡායාරූපය ඇතුළත් සටහන සංසරණය වීම මහජනතාව නොමඟ යවන බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.