Hashtag Generation

අල් ජසීරා රූපවාහිනී ජාලයේ මෙහෙයුම් කටයුතු වසා දැමුවාද?

අල් ජසීරා (AL JAZEERA) යනු පැය විසි හතර පුරා ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති නාලිකාවකි. අල් ජසීරා මාධ්‍ය ජාලය ලොව පුරා කාර්යංශ හැත්තෑවකට අධික සංඛ්‍යාවක් සහ රටවල් අනූ පහකට අධික සංඛ්‍යාවක ක්‍රියාත්මක වේ. මෙලෙස ලොව පුරා ක්‍රියාත්මක වන “අල්ජසීරා රූපවාහිනී ජාලයේ මෙහෙයුම් කටයුතු වසා දමයි” යනුවෙන් සඳහන් සිරස්තලයක් සහිත පෝස්ටුවක් පසුගියදා ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.

ෆේස්බුක් තුළ සංසරණය වූ පෝස්ටුවේ තිර ඡායාරූපයක් (screenshot) පහතින් දැක්වේ.

“අල් ජසීරා රූපවාහිනී ජාලයේ මෙහෙයුම් වසා දමයි” යන සිරස්තලය සහිතව Xposure News Media ෆේස්බුක් පිටුව තුළ මෙම පෝස්ටුව පළ වී තිබුණි. එමෙන් ම වැඩි විස්තර යනුවෙන් සබැඳියක්ද (link) සිරස්තලයට පහළින් දක්වා තිබුණි.

ලොව පුරා මෙහෙයුම් කටයුතු සිදු කරන ප්‍රමුඛ රූපවාහිනී මාධ්‍ය ආයතනයක් වන අල් ජසීරා රූපවාහිනී ජාලය සිය මෙහෙයුම් නතර කර ඇති බව සඳහන් මෙම පෝස්ටුව සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය. 

ඒ අනුව පළමුවෙන්ම අල් ජසීරා රූපවාහිනී ජාලය සිය මෙහෙයුම් වසා දමන බවට යම් නිවේදනයක් නිකුත් කර ඇත්දැයි විමසා බැලිණි. එහිදී ඔවුන් සිය මෙහෙයුම් කටයුතු නවතා දමන බවට කිසිදු තොරතුරක් හෝ නිවේදනයක් පළ කර නොතිබිණි. නමුත් ඊශ්‍රායලයේ අල්ජසීරා ප්‍රාදේශීය කාර්යාලය වසා දැමීමට ඊශ්‍රායල් රජය පියවර ගෙන ඇති බවත් එය අල්ජසීරා රූපවාහිනි ජාලය තරයේ හෙළා දකින බවත් සඳහන් පුවතක් අල් ජසීරා වෙබ් පිටුවේ පළ වී තිබුණි. මේ පිළිබදව වැඩි විස්තර සදහා මෙතැනින් පිවිසෙන්න.

ඊශ්‍රාලය අල් ජසීරා රූපවාහිනී ජාලය වසා දැමීමට දුන් නියෝගය සහ ඒ පිළිබද වැඩිදුර විස්තර සදහා මෙතැනින් පිවිසෙන්න.

තවද ඊශ්‍රායලයේ අල් ජසීරා රූපවාහිනී ජාලය හමාස් සංවිධානයට සහ පලස්තීනයට සහාය වන බව සඳහන් කරමින් එය වසා දැමීමට ඊශ්‍රායල් රජය පියවර ගෙන ඇති බව සඳහන් පුවතක් BBC පුවත් සේවයේ පළවී තිබුණි.

එමෙන්ම VARIETY ඩිජිටල් පුවත් වෙබ් පිටුව තුළද “ඊශ්‍රායලය අල්ජසීරා ප්‍රවෘත්ති නාලිකාවේ රට තුළ මෙහෙයුම් වසා දමයි” යනුවෙන් පුවතක් සඳහන්ව තිබුණි. මෙම පුවත් අනුව අල් ජසීරා රූපවාහිනී ජාල⁣යේ ඊශ්‍රායලයේ පමණක් සිය මෙහෙයුම් වසා දමා ඇති බව පැහැදිලි විය.

සමාජ මාධ්‍ය සටහනේ සිරස්තලයේ සහ පෝස්ටුවේ සඳහන් ආකාරයට අල් ජසීරා සිය මෙහෙයුම් කටයුතු නවතා ඇත්දැයි තවදුරටත් පැහැදිලි කර ගැනීමට අනෙකුත් රටවල ඔවුන්ගේ රූපවාහිනී  ජාලය විකාශය වනවාදැයි විමසා බැලූ අතර ඒ ඒ රටවල සුපුරුදු පරිදි ඔවුන්ගේ විකාශන කටයුතු සිදු කරගෙන යන බව පැහැදිලි විය. මෙතැනින්

තවද මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අල් ජසීරා රූපවාහිනී ජාලයේ ජාත්‍යන්තර සන්නිවේදන කළමනාකරු වශයෙන් කටයුතු කරන ඉහ්තිසාම් හිබතුල්ලා මහතාගෙන්  විමසීමක් කළේය.  ඊශ්‍රායල් රජය විසින් ගනු ලැබූ තීරණයක් නිසා  ඊශ්‍රායලයේ පමණක් අල් ජසීරා රූපවාහිනී ජාලයේ මෙහෙයුම් කටයුතු නවතා ඇති බව හෙතෙම පැවසීය. මේ වසරේ මුල් කාලයේ ඊශ්‍රායල් රජය විසින් ක්‍රියාත්මක නීතියක් මගින් මෙම තහනම ගෙන ඇති බවත් දින 45 ක් වැනි කාලයක් මෙම අත්හිටුවීම ක්‍රියාත්මක බවත් අල්ජසීරා රූපවාහිනී ජාලයේ ජාත්‍යන්තර සන්නිවේදන කළමනාකරු  අප වෙත පැවසීය. තවද මේ සම්බන්ධයෙන් අල් ජසීරා මාධ්‍ය ජාලය නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක්ද ඔහු අප වෙත එවා තිබුණි. අල් ජසීරා මාධ්‍ය ජාලය නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයට මෙතැනින් පිවිසෙන්න.

“අල් ජසීරා රූපවාහිනි ජාලයේ මෙහෙයුම් කටයුතු වසා දමයි” යන සිරස්තලය සහ පෝස්ටුවේ වැඩි විස්තර යනුවෙන් සඳහන් අන්තර්ගතය තුළ ඊශ්‍රායලයේ අල් ජසීරා රූපවාහිනී ජාලය මෙහෙයුම් කටයුතු වසා දමන බව සඳහන් වී තිබුණි. අන්තර්ගතය තුළ එලෙස සදහන් වුවද ‘අල් ජසීරා රූපවාහිනී ජාලය මෙහෙයුම් කටයුතු වසා දමයි’ යනුවෙන් සඳහන් සිරස්තලය සහ පෝස්ටුව ක්ලික් බේට් (ඇමක් ආකාරයෙන් භාවිතා කොට ප්‍රවෘත්තිට ආකර්ශනය කර ගැනීම) ලෙස යොදා ගෙන මහජනතාව නොමඟ යවා ඇති බව පැහැදිලිය. 

නිගමනය : “අල් ජසීරා (AL JAZEERA) රූපවාහිනී ජාලය  මෙහෙයුම් කටයුතු වසා දමයි” යනුවෙන් සඳහන් සිරස්තලය සහ පෝස්ටුව මහජනතාව නොමග යවයි. අල් ජසීරා රූපවාහිනි ජාලයේ ඊශ්‍රායල ප්‍රාදේශීය කාර්යාලය වසා දැමීමට ඊශ්‍රායල් රජය පියවර ගෙන ඇති බවත් අනෙකුත් රටවල අල් ජසීරා රූපවාහිනී ජාලයේ මෙහෙයුම් කටයුතු සහ විකාශන කටයුතු සුපුරුදු පරිදි සිදු කෙරෙන බවත් අපට තහවුරු විය. මේ අනුව “අල් ජසීරා රූපවාහිනී ජාලය මෙහෙයුම් කටයුතු වසා දමයි” යනුවෙන් සඳහන් සිරස්තලය සහ පෝස්ටුව මහජනතාව නොමග යවන බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.