එකතු කළ අගය මත බදු (Value Added Tax) (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය දෙසැම්බර් මාසයේ දී පාර්ලිමේන්තුවේ දී සම්මත වූ අතර ඊට දෙසැම්බර් මස 13 වැනිදා කතානායකරවයාගේ අනුමැතිය ලැබිණි. ඒ අනුව 2024 ජනවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි එකතු කළ අගය මත බද්ද සියයට 18 දක්වා ඉහළ නැංවුණි.
කෙසේ නමුත් වැඩි කරන ලද එකතු කළ අගය මත බද්ද (වැට්-VAT) වැඩි වූ ආකාරය කෙසේද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනා අතර නිශ්චිත අදහසක් නොමැති බව නිරීක්ෂණය කළ හැකි ය. මේ සම්බන්ධයෙන් පසුගිය මාසයකට ආසන්න කාලය තුළ විවිධ කතාබහ ඇති වන අයුරු දක්නට ලැබිණි. ඒ අනුව ‘වැට්’ බද්ද වැඩි වූ ආකාරය සම්බන්ධයෙන් හෑෂ්ටැග් පරපුර විමසා බැලීය.
‘වැට්’ බද්ද වැඩිවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ඇති වූ සංවාදවල තිර ඡායාරූප(Screenshot) කිහිපයක් පහතින් දක්වා ඇත.
එකතු කළ අගය මත බදු හෙවත් VAT බද්ද යනු වක්‍ර බද්දක් වන අතර මෙය භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ දී සෑම පාරිභෝගියකුම ම ගෙවිය යුතු බද්දකි. ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන භාණ්ඩ හා ශ්‍රී ලංකාවේ දේශසීමාව තුළ සපයනු ලබන භාණ්ඩ හා සේවා මෙම බද්දට ඇතුළත් වෙයි. මෙම බද්ද භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීමේ සහ බෙදාහැරීමේ ජාලයේ සෑම අදියරකදී ම එකතු වන අගය මත අයකරන අදියර කිහිපයකින් සමන්විත බද්දකි.
එකතු කළ අගය මත බද්ද 2002 අංක 14 දරන පනත මගින් හඳුන්වා දුන් අතර එය 2002 වසරේ අගෝස්තු මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වෙයි. මෙතැනින්.
2016 වසර වන විට ‘වැට්’ බද්ද සියයට 11ක් දක්වා ඉහළ නැංවුණු අතර එම වසරේදීම එය සියයට 15ක් දක්වා වැඩි කරන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළේ ය.මෙතැනින්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයේ බදු ආදායම වැඩි කර ගැනීම සදහා අවශ්‍ය බදු සංශෝධනය කරන ලෙස නිර්දේශ කර ඇති වටපිටාවක නැවත වරක් ‘වැට්’ බද්ද ඉහළ නැංවීමට වත්මන් ආණ්ඩුව පසුගිය වසරේ දී තීරණය කළේ ය.
වත්මන් ආණ්ඩුව පත්වීමට පෙර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පැවැති ආණ්ඩුව 2019 වසරේ වැට් බද්ද සියයට 15 සිට සියයට 8 දක්වා අඩු කළේ ය. මෙතැනින්, මෙතැනින්
ඉකුත් වසරේ (2023) ඔක්තෝබර් 30 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී, එකතු කළ අගය මත වන බදු අනුපාතිකය 2024 ජනවාරි 1 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 18 දක්වා වැඩි කිරීමටත්, දැනට ‘වැට්’ බද්දට අදාළ නොවන ඇතැම් භාණ්ඩ හා සේවා මත එකී බද්ද පැනවීම ඇතුළු නව බදු යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කිරීමට අදාළ නීති සංශෝධනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව තිබිණි. මෙතැනින්.
ජනවාරි 1 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත පරිදි එකතු කළ අගය මත බදු නිදහස් කිරීමේ ලැයිස්තුවෙන් ඉවත් කරන ලද අයිතම ලැයිස්තුව දෙසැම්බර් 11 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඊට අමතරව VAT බද්දෙන් නිදහස් කෙරෙන සංශෝධිත භාණ්ඩ ලැයිස්තුවද ඇතුළත් ‘වැට්’ බදු (සංශෝධන) කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
එහිදී ‘වැට්’ බදු (සංශෝධන) පනත් කෙටුම්පතේ තුන්වැනි වර කියවීම වැඩි ඡන්ද 45 කින් සම්මත විය. මෙතැනින්.
2023 දෙසැම්බර් 13 දින සහතික කරන ලද 2023 අංක 32 දරන එකතු කළ අගය මත (සංශෝධන) බදු පනත මෙතැනින්.
‘වැට්’ බදු (සංශෝධන) පනත යටතේ මීට පෙර ‘වැට්’ බද්දෙන් නිදහස්ව තිබූ භාණ්ඩ 138කින් භාණ්ඩ 95ක් සදහා අලුතින් ‘වැට්’ බදු ගෙවීමට මහජනතාවට සිදුවේ. ඒ අනුව මීට පෙර ‘වැට්’ බද්ද අදාළ නොවූ අයිතම 95ක් මේ වසරේ සිට ජනවාරි 1 වැනිදා සිට සියයට 18ක වැට් බද්දකට යටත් වේ.
එලෙස බදු අය කෙරෙන අයිතම 95 මෙතැනින්. මෙතැනින්
ඊට අමතරව පසුගිය දා සම්මත වූ ‘වැට්’ බදු (සංශෝධන) පනත කෙටුම්පත යටතේ 2016 නොවැම්බර් 1 වන දා සිට මෙතෙක් සියයට 15ක ‘වැට්’ බද්දට යටත්ව තිබූ භාණ්ඩ හා සේවාවලට බද්ද තවත් සියයට 3කින්, එනම් සියයට 15 සිට සියයට 18 දක්වා (15%+3%) වැඩි වේ.
‘වැට්’ බද්දෙන් නිදහස් අයිතම මෙතැනින්.
කෙසේ නමුත් භාණ්ඩ හා සේවා 97 ක් ‘වැට්’ බදුවලට යටත් කිරීමෙන් උද්ධමනය සියයට 2.5කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දෙසැම්බර් 10 වැනිදා පැවැති ‘වැට්’ බදු සංශෝධන විවාදයේ දී පැවැසීය. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ ඒකකයේ තොරතුරුවලට අනුව රාජ්‍ය අමාත්‍යවරයා එම අදහස් පළ කළේ ය.
‘වැට්’ බදු සීමාව රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 80 දක්වා වෙනස් වීම තුළ දළ දේශීය නිෂ්පාදිතයේ සියයට 0.15 වර්ධනයක් හා රාජ්‍ය ආදායමට රුපියල් බිලියන 40ක් එකතු වන බවට භාණ්ඩාගාරය අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවැසීය. එපමණක් නොව, ‘වැට්’ බද්ද සියයට 15 සිට සියයට 18 දක්වා වැඩි කිරීමෙන් රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.72 කින් එනම් රු. බිලියන 227කින් වැඩි වනු ඇතැයි ද ඔහු කීය.
නොවැම්බර් මාසයේ උද්ධමනය සියයට 3.4 ක් වූ බැවින් අපේක්ෂිත උද්ධමනය සියයට 2.5කින් ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ උද්ධමන ඉලක්කය වන සියයට 5 ඉක්මවා යනු ඇතැයි ද සියඹලාපිටිය මහතා පැවසීය.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා, දෙසැම්බර් 10 වැනිදා පැවැති ‘වැට්’ බදු සංශෝධන විවාදයේ දී කළ කතාව 51:00 මිනිත්තුවේ සිට.
වැට් බද්ද සියයට 18 දක්වා වැඩි වීමත් සමඟ උද්ධමනය පැහැදිලිවම ඉහළ යනු ඇති බවත් ජනවාරි 1 වැනිදා සිට මිල මට්ටම්වල වැඩිවීමක් සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා දෙසැම්බර් 29 වැනිදා පැවැසීය. ‘වැට් බද්ද හේතුවෙන් උද්ධමනයට සිදුවන බලපෑම කුමක්දැයි’ මාධ්‍යවේදියකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ බව පැවැසීය. මෙතැනින්.
බද්ද වැඩි වීම නිසා එක්වරක් පමණ සිදුවන වැඩිවීමේ බලපෑමක් පමණක් සිදුවන බවත් ජනවාරි මාසය අවසානයේ දී උද්ධමනය සියයට දෙකක තුනක අගයකින් වැඩි වනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා කීවේ ය. එය දිගින් දිගටම බලපාන තත්ත්වයක් නොවන බවත් එතැනින් පසුව ක්‍රමයෙන් උද්ධමනය පහළ යනු ඇතැයි ද ඔහු කීය.
ඉකුත් වසරේ ජනවාරි මාසයේ දී පැවැති උද්ධමනයට සාපේක්ෂව මේ වසරේ ජනවාරි මාසයේ උද්ධමනය ඉහළ යනු ඇතැයි ද දෙසැම්බර් (2023) මාසයේ දී වාර්තා වූ සියයට 4ක උද්ධමනයට සාපේක්ෂව ජනවාරි (2024) උද්ධමනය සියයට 6ක් දක්වා වැඩි වනු ඇතැයි ද මහ බැංකු අධිපතිවරයා කීවේ ය.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මාසිකව ප්‍රකාශයට පත් කරන වාර්තාවට අනුව දෙසැම්බර් මාසයේ දී උද්ධමනය සියයට 4ක් ලෙස වාර්තා වී තිබිණි. කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය මෙලෙස ඉහළ ගොස් තිබූ අතර නොවැම්බර් (2023) මාසයේ දී සියයට 3.4ක් වූ වූ උද්ධමනය දෙසැම්බර් මාසයේ දී සියයට 4ක් දක්වා එය එලෙස ඉහළ ගොස් තිබිණි. මෙතැනින්, මෙතැනින්.
නිගමනය: පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ ‘වැට්’ බදු (සංශෝධන) පනත අනුව මීට පෙර ‘වැට්’ බද්දෙන් නිදහස්ව තිබූ භාණ්ඩ 138කින් භාණ්ඩ 95ක් සදහා අලුතින් ‘වැට්’ බදු ගෙවීමට මහජනතාවට සිදුවේ. ඒ අනුව මීට පෙර ‘වැට්’ බද්දක් අය නොකළ අයිතම 95කට 2024 ජනවාරි 1 වැනිදා සිට සියයට 18 ක වැට් බද්දකට යටත් වේ. ඊට අමතරව මෙතෙක් සියයට 15ක ‘වැට්’ බද්දට යටත්ව තිබූ භාණ්ඩ හා සේවාවල බද්ද තවත් සියයට 3කින් වැඩි වේ. එනම් සියයට 15 පැවැති බද්ද සියයට 18ක් (15%+3%) දක්වා වැඩි වේ.
අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.