Hashtag Generation

ජනාධිපතිවරණයකදී කොට්ඨාස මට්ටමින් ඡන්දය ගණනය කරනවාද?

ශ්‍රී ලංකාවේ 9 වෙනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ මැතිවරණය පසුගිය සැප්තැම්බර් 21 වෙනිදා පැවැත්විණි. එමඟින් අනුර කුමාර දිසානායක මහතා මෙරට 9 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය. 

මෙලෙස පැවති ජනාධිපතිවරණ උණුසුමත් සමඟ විවිධ අදහස්, මතිමතාන්තර සමාජ මාධ්‍ය පුරා දැක ගත හැකි විය. ඒ අතර “අකුරැස්ස ආසනයේ කොට්ඨාස 03 ක් සජිත් දිනුම් එකක් මගේ ස්තූතියි ඒ සැලකීමට” යනුවෙන් සඳහන් සටහනක් ෆේස්බුක් මාධ්‍ය තුළ සංසරණය විය.

ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ සටහනේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ. 


මෙම සටහන සංසරණය වීමත් සමඟ මේ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කර මේ පිළිබඳව පැහැදිලි කරන ලෙස පාඨකයින් කිහිපදෙනෙක් අපගෙන් ඉල්ලීමක් කරන ලදී. ඒ අනුව මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

මෙවර ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලට අනුව ඡන්ද 41,067 ක් ලබා ගනිමින් මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ආසනය ජයග්‍රහණය කර තිබුණේ අනුර කුමාර දිසානායක මහතා ය. අකුරැස්ස ආසනයේ දෙවනියට වැඩි ඡන්ද ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සමත් විය.

ෆේස්බුක් තුළ සංසරණය වූ සටහනේ ආකාරයට කොට්ඨාස මට්ටමින් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමක් හෝ ගණය කිරීමක් සම්බන්ධව තොරතුරු වාර්තා නොවිණි. එම නිසා මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට  මැතිවරණ කොමිෂන් සභවේ නිල වෙබ් පිටුව පරීක්ෂා කර බැලිණි. මැතිවරණ කොමිෂන් සභාවේ එක් එක් මැතිවරණයට අදාළ ක්‍රියාවලිය යටතේ ඡන්දය ගණන් කිරීමේ කොටස යටතේ ජනාධිපතිවරණයකදී ඡන්දය ගණනය කරනු ලබන ආකාරය පැහැදිලිව දක්වා ඇත. ජනාධිපතිවරණයකදී මුළු රටම එකම මැතිවරණ කොට්ඨාසයක් ලෙස සැලකෙන අතර කොට්ඨාස මට්ටමින් ඡන්දය ගණනය කිරීමක් සිදු නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් පිටුවේ පැහැදිලිව දක්වා ඇත. 

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා අපි ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවෙන් විමසීමක් කළෙමු. ජනාධිපතිවරණයකදී කොට්ඨාස මට්ටමින් ඡන්දය ගණනය කිරීමක් හෝ ප්‍රතිඵල නිකුත් කිරීමක් සිදු නොවන බව මැතිවරණ කොමිෂන් සභාව තහවුරු කරන ලදී.

එමෙන්ම අකුරැස්ස ආසනයේ ජනාධිපතිවරණයේ කොට්ඨාස මට්ටමින් ප්‍රතිඵල ලබා ගැනීමක් සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභා⁣ව වෙත යොමු කරන ලද ගැටලුවක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලැබූ ලිපියක් පහතින් දැක්වේ. ජනාධිපතිවරණයේදී කොට්ඨාස මට්ටමින් ඡන්දය ගණනය කිරීමක් සිදු නොවන බවත් අකුරැස්ස ඡන්ද ප්‍රදේශයේ ප්‍රතිඵලය පමණක් ලබා ගත හැකි බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

ජනාධිපතිවරණයකදී ඡන්දය ගණන් කිරීම හා ඒ හා බැඳුණු නීතිමය පසුබිම පිළිබඳව කරුණු පැහැදිලි කර ගැනීම සඳහා අපි නීතිඥ ඩී.එම්. දිසානායක මහතාගෙන් ද මේ පිළිබඳව විමසීමක් කළෙමු. ජනාධිපතිවරණයකදී කිසිඳු අවස්ථාවක කොට්ඨාස මට්ටමින් ඡන්දය ගණනය කිරීමක් සිදු නොවන බව දිසානායක මහතා පැවසීය. ජනාධිපතිවරණයකදී ඡන්දය ලකුණු කිරීමේ මධ්‍යස්ථානවල සිට ඡන්දය ගණනය කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ගෙන යෑමේදී වෙන්කර හඳුනා ගැනීමට නොහැකි පරිදි ඒවා මිශ්‍ර කිරීමක් සිදුවන බවද ඒ මහතා පැවසීය. ඒ අනුව ඡන්ද කොට්ඨාස මට්ටමින් ඡයග්‍රහණය සම්බන්ධව විවිධ අදහස් පැවසීම ජනතාව නොමඟ යැවීමට හේතු විය හැකි බවද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

නිගමනය : මෙවර ජනාධිපතිවරණයේදී අකුරැස්ස ආසනයේ ඡන්ද කොට්ඨාස 03 ක් සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කර ඇති බවට සමාජ මාධ්‍ය සටහනක් පළ විය. ජනාධිපතිවරණයකදී කොට්ඨාස මට්ටමින් ඡන්දය ගණනය කිරීමක් සිදු නොවන අතර සමස්ත ආසනයේ ප්‍රතිඵල පමණක් නිකුත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව තහවුරු කළේය. ඒ අනුව කොට්ඨාස මට්ටමේ ජයග්‍රහණ සම්බන්ධව පළ වූ සමාජ මාධ්‍ය සටහන් මහජනතාව නොමග යවන බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.