Hashtag Generation

“ජාතික ආරක්ෂාවට කමිටුවක් නම් කෙරේ” යන සිරස්තලය සහිත ජාතික ජන බලවේගයේ ලිපිය ව්‍යාජයි.

ජාතික ජන බලවේගයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස යොදා ගනිමින් සකස් කළ ලිපි කිහිපයක් ම මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වනු දැක ගත හැකි විය.

ඒ අතර ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන සහ ජාතික ජන බලවේගයේ ලිපි ශීර්ෂය සහිතව මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කළ ලිපියක් X මාධ්‍ය තුළ සංසරණය විය.

“ජාතික ආරක්ෂක කමිටුවක් නම් කෙරේ” යන ලිපි සිරස්තලය සහිතව අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන ද  මෙම ලිපිය තුළ දක්වා ඇත.

X මාධ්‍ය තුළ සංසරණය වූ ලිපියේ තිරඡායාරූපයක් පහතින් දැක්වේ.

“ජාතික ආරක්ෂක කමිටුවක් නම් කෙරේ”යන ලිපි සිරස්තලය සහිතව එළැඹෙන ජනාධිපතිවරණය උදෙසා ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කර තිබෙන පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එන ජාතික ආරක්ෂක ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ආරක්ෂක කමිටුවක් නම් කිරීමට තීරණය කර ඇති බව ලිපියේ සඳහන් ය.

තවද ආරක්ෂක කමිටුව සඳහා තෝරා පත්කර ගනු ලැබූ විශ්‍රාමික හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ නම් කිහිපයක්ද ඊට එක් කොට ඇත. අවසානයේ ජාතික ජන බලවේගය පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන ද සඳහන් කර ඇත.

මෙවැනි ජාතික ආරක්ෂක කමිටුවක් පිහිටුවීම සම්බන්ධව ජාතික ජනබලවේග විසින් කිසිඳු නිවේදනයක් නිකුත් කළ බවක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය තුළ දැක ගත නොහැකි ⁣විය. 

එමෙන් ම මෙම ලිපිය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට යොමු කර ඇති බව සඳහන් බැවින් අපි මාධ්‍ය ආයතන කිහිපයකින් මේ පිළිබඳව විමසීමක් කළෙමු. මේ ආකාරයේ ලිපියක් ඔවුන් වෙත නොලැබුණු බව ඔවුන් තහවුරු කරන ලදී.

X මාධ්‍ය තුළ සංසරණය වන මෙම ලිපිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් මහතාගෙන් විමසීමක් කළේය. මෙම ලිපියද සම්පූර්ණයෙන් ම ව්‍යාජ ලෙස සකස් කරන ලද ලිපියක් බවත් මෙවැනි කමිටුවක් ජාතික ජන බලවේගය විසින් පිහිටුවා නැති බවත් ඔහු තහවුරු කළේය. තවද මෙම ලිපියේ ආරක්ෂක කමිටුවට යොදා ඇති අයගෙන් ශානි අබේසේකර සහ අරුණ ජයසේකර යන අය පමණක් ඔවුන්ගේ පක්ෂ සාමාජිකයින් බවත් අනෙක් අය සම්බන්ධව නොදන්නා බවත් ඔහු පැවසීය. 

මේ දිනවල පක්ෂයේ ලිපි ශීර්ෂ යොදා ගනිමින් මෙවැනි ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද ලිපි සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

මෙම ලිපියේ සදහන් අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන සහ ඔහු විසින් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ තබා ඇති අත්සන ගෙන සංසන්ඳනය කර බැලිණි. මෙම අත්සන් දෙක තුළ කිසිඳු වෙනසක් නොමැති බව එය නිරීක්ෂණය කිරීමේදී අපට පැහැදිලි විය. එනම් අත්සන් දෙකම එක හා සමාන ආකාරයෙන් ඇත.

ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතාගේ ඩිජිටල් අත්සන අන්තර්ජාලය තුළ දැක ගත හැකිය. ඒ අනුව තාක්ෂණික ක්‍රමවේද යොදාගෙ මෙම ලිපිය සඳහා අත්සන ව්‍යාජ ලෙස යොදා  ගැනීමට හැකියාවක් ඇති බවට අනුමාන කළ හැකිය.

එසේම ජාතික ජන බලවේගයේ ලිපි ශීර්ෂයට සමාන ලිපි ශීර්ෂයක් මෙම ලිපිය තුළද දැක ගත හැකි විය. ලිපි ශීර්ෂයේ ද කිසිඳු වෙනසක් හඳුනා ගැනීමට නොහැකි විය. එයද බොහෝ දුරට අන්තර්ජාලයේ ඇති ලිපි ශීර්ෂයක් යොදා ගෙන නිර්මාණය කර ඇති බවට නිගමනයකට එළැඹිය හැකිය.

තවද මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා ලිපියෙහි නම සඳහන් විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගෙන් විමසීමක් කළේය. මෙය සම්පූර්ණයෙන් ම ව්‍යාජ ලිපියක් බවත් මෙවැනි කමිටුවක් පිහිටුවා නැති බවත් ඒ මහතා පැවසීය. 

එමෙන් ම ලිපියේ ජාතික ආරක්ෂක කමිටුවට තෝරා පත්කර ගත් බවට නම් සඳහන් අතුල සමරකෝන් යන අය දේශප්‍රේමි ජාතික ව්‍යාපාරයේ බව සඳහන් වුවද එවැනි පුද්ගලයකු පිළිබඳ තොරතුරු නොවුණි. එසේ ම ⁣ලිපියේ නම් සඳහන් තංගයියා රාසමානික්කම්, මොහොමඩ් ෆර්හාන් සහ ශාමි උදේශිකා යන අය පිළිබඳව අන්තර්ජාලය හරහා සොයා බැලූ නමුත් ඔවුන් පිළිබඳව ද තොරතුරක් එහි නොවිණි.

මෙම ලිපිය ව්‍යාජ ලිපියක් බව සඳහන් කරමින් ජාතික ජනබලවේගයේ විධායක සභික ටිල්වින් සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය විසින් ද තම සමජ මාධ්‍ය ගිණුම් තුළ සටහන් පළ කර තිබුණි.

මේ ආකාරයේ ලිපියක නිරවද්‍යතාව හෝ ව්‍යාජත්වය  පිළිබඳව නිගමනයකට එළැඹීමට පෙර ජනතාව විචක්ෂණශීලීව ඒ දෙස අවධානය යොමු කළ යුතුය.  ජාතික ජන බලවේගයේ ලිපි ශීර්ෂය සහ අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන කිසිඳු වෙනසක් නොමැතිව මෙම ලිපිය තුළ භාවිතා කර තිබුණි. එවැනි අවස්ථාවක ලිපිය කෙරෙහි වඩාත් හොඳින් අවධානය යොමු කර විචාරශීලීව කටයුතු කළ යුතුය.

මින් පෙර ද ජාතික ජන බලවේගයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් සකස් කරනු ලැබූ ව්‍යාජ ලිපියක් පිළිබඳව අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කරන ලදී. ජනාධිපතිවරණය ආසන්නයේ මෙවැනි ව්‍යාජ ලෙස සකස් කර ඉදිරිපත් කරන තොරතුරු සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු.

නිගමනය : ජාතික ජන බලවේගය විසින් “ ජාතික ආරක්ෂක කමිටුවක් නම් කෙරේ” යන ලිපි ශීර්ෂ පාඨය සහිතව මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කළ ලිපියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.  එවැනි ලිපියක් ජාතික ජන බලවේගය විසින් නිකුත් නොකළ බව තහවුරු විය. ඒ අනුව එම ලිපිය ව්‍යාජ එකක්  බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න