Hashtag Generation

තරුණ යුවළක් විසින් මහලු කාන්තාවකට පහර දෙනු ලබන සිදුවීම ඇතුළත් වීඩියෝව ශ්‍රී ලංකාවේ එකක් නොවේ.

කුඩා දරුවන්, වයස්ගත පුද්ගලයන් සහ විවිධාකාර අවශ්‍යතා ඇති පුද්ගලයන් ඉලක්ක කරගෙන සිදු කරනු ලබන අමානුෂීය පහරදීම්, හිරිහැර කිරීම් ආදී සිදුවීම් බහුලව සමාජ මාධ්‍ය තුළ මෑතකදී දක්නට ලැබුණි. ඒ අතර තරුණ යුවළක් විසින් මහලු කාන්තාවකට අමානුෂීය ලෙස පහර දෙනු ලබන වීඩියෝවක් සහිත පුවතක් පසුගිය දා වෙබ් පිටුවක පළ වී තිබුණි.

“ මේ වයසක අම්මව අමු අමුවේ මරන්න හදන මේ බල්ලෝ නුවර දන්නෙත් නෑ, රාජ්‍ය දන්නෙත් නෑ! බෙදා හරින්නා හරහා වත්මන් තොරතුරු ලබාගත හැකිය. හදවතක් ඇති අය අත්අඩංගුවට ගන්නා තෙක් සියලු දෙනාම වහාම share කරන්න….”යනුවෙන් PFP News වෙබ් අඩවියේ පළ වූ පුවතෙහි සඳහන් වී තිබුණි. වෙබ් පුවතට පහලින් එම වීඩියෝව ද පළ කර තිබුණි.

එම වෙබ් පුවතේ සහ වීඩියෝවේ තිර ඡායාරූප (screenshot) පහතින් දැක්වේ.

    මෙම වීඩියෝව වෙබ් පුවතට අදාළ වීඩියෝවේ පසුබිම සහ මෙය ශ්‍රී ලංකාවේ සිදු වූ සිදුවීමක් ද යන්න පිළිබඳව කරුණු විමසා බැලීමට හැෂ්ටැග් පරපුර තීරණය කළේය.

ඒ අනුව පළමුවෙන්ම මෙම වීඩියෝවෙහි කොටසක තිර ඡායාරූපයක් ගූගල් රිවස් ඉමේජ් (Google Reverse Image) වෙත ඇතුළත් කර බැලිණි. එහිදී මෙම වීඩියෝව මීට මාස තුනකට පමණ පෙර යූ ටියුබ්, ට්විටර් වැනි සමාජ මාධ්‍යයන් තුළ මෙන්ම වෙබ් පිටුවල ද පළ වී තිබෙණු දැකගත හැකි විය.

මෙම වීඩියෝව මීට මාස තුනකට පමණ පෙර එනම් 2024 මාර්තු 27 වැනිදා ඉන්දියාවේ සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබුණි. ඉන්දියාවේ බෝපාල් ප්‍රදේශයේ මහලු මවකට තම පුතා සහ ලේලිය විසින් සිදු කරනු ලබන අමානුෂීය පහරදීමක් ලෙස ඉන්දියානු සමාජ මාධ්‍ය තුළ පළ වී තිබූ වීඩියෝවේ සඳහන් වී තිබුණි. තවද මහලු මව විසින් රසවත්ව ආහාර පිසින්නේ නැති හේතුව මත මෙම පහරදීම සිදු කර ඇති බවට ඒවායේ වැඩිදුරටත් සඳහන් වී තිබුණි. 

මීට අමතරව මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ද විමසා බැලිණි. එහිදී ද මෙම වීඩියෝව ඉන්දියාවේ බෝපාල් ප්‍රදේශයේ සිදු වූ සිදුවීමක් බවත් එය මීට මාස තුනකට පමණ පෙර සිදු වී ඇති බවටත් තොරතුරු හමු විය.

තවද මෙම පහරදීම සිදු කරනු ලබන යුවළව මෙම වීඩියෝව ඉන්දියානු සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමග අත්අඩංගුවට ගෙන ඇති බවත් සිද්ධිය සිදු වූ දිනය පිළිබඳව නිශ්චිත තොරතුරක් නොමැති බවත් ඉන්දියාවේ NewsX වෙබ් පුවතෙහි හා තවත් මාධ්‍ය බොහෝ වාර්තා වල වැඩිදුරටත් සඳහන් වී තිබුණි.

මෙම සියලු  කරුණු අනුව සලකා බැලීමේදී  මෙම වීඩියෝව ශ්‍රී ලංකාවේ එකක් නොවන බවත් මෙය මීට මාස තුනකට පමණ පෙර ඉන්දියාවේ බෝපාල් ප්‍රදේශයේ සිදු වූ සිදුවීමක් බවත් පැහැදිලි වේ.

නිගමනය : තරුණ යුවළක් විසින් මහලු කාන්තාවකට පහර දෙනු ලබන වීඩියෝවක් සහ පුවතක් පසුගියදා වෙබ් පිටුවක පළ වී තිබුණි. එම වීඩියෝව ශ්‍රී ලංකාවේ එකක් නොවන බවත් මීට මාස තුනකට පමණ පෙර ඉන්දියාවේ බෝපාල් ප්‍රදේශයේ සිදු වූ සිදුවීමකට අදාළ වීඩියෝවක් බවත් කරුණු සොයා බැලීමේ දී තහවුරු විය. ඒ අනුව “මේ වයසක අම්මව අමු අමුවේ මරන්න හදන මේ බල්ලො නුවර දන්නෙත් නෑ රාජ්‍ය දන්නෙත් නෑ !” යනුවෙන් සඳහන් වෙබ් පුවත සහ වීඩියෝව මහජනතාව නොමඟ යවන බව නිගමනය කළ හැකිය.


අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.