Hashtag Generation

දිලිත් ජයවීර මහතා මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව සඳහන් ලිපිය ව්‍යාජයි.

මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා 2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව සඳහන් ලිපියක් අගෝස්තු 09 වෙනිදා සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. පෞද්ගලික හේතුවක් මත මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් නොවන බව එම ලිපියේ වැඩිදුරටත් දක්වා තිබුණි.

එලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ ලිපියෙහි ඡායාරූපයක් පහතින් දැක්වේ.


මෙම ලිපිය මව්බිම ජනතා පක්ෂයේ ලාංඡනය සහිතව සර්ව ජන බල සන්ධානය වෙත යොමු කර ඇත. “2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව දැනුම් දීම” යනුවෙන් ලිපියේ මාතෘකාව සඳහන් වී ඇත. ලිපියෙහි අන්තර්ගතය තුළ ඔහුව සර්ව ජන බල සන්ධානයේ අපේක්ෂකයා වශයෙන් තෝරා ගැනීම වෙනුවෙන් සන්ධානයේ පක්ෂ නායකයින්ට ස්තුති කර ඇති අතර පෞද්ගලික හේතුවක් මත ඔහු මෙවර ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් නොවන බවට කරුණු දක්වා ඇත. අවසානයේ දිලිත් ජයවීර මහතාගේ යැයි අනුමාන කළ හැකි අත්සනක් ද  දක්වා ඇත.

ජනාධිපතිවරණය සඳහා පවති මැතිවරණ උණුසුම සමඟ මෙහි සත්‍ය අසත්‍යතාව විමසා බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

ඒ අනුව අප පළමුවෙන් ම දිලිත් ජයවීර මහතාගේ නිල ෆේස්බුක් ගිණුම තුළ මෙවැනි ලිපියක් හෝ තොරතුරක් දක්වා ඇත්දැයි විමසා බැලිණි. එහිදී මේ ආකාරයේ කිසිඳු තොරතුරක් හෝ ලිපියක ඡායාරූපයක් දක්නට නොලැබුණි. 

එමෙන් අගෝස්තු 09 වෙනිදා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහිපයක පුවත් විමසා බැලුණු අතර ඒවායේ ද මෙවැනි තොරතුරක් සඳහන් වී නොතිබුණි. 

මේ පිළිබදව වැඩිදුර තහවුරු කරගැනීමට මව්බිම ජනතා පක්ෂයේ විධායක කමිටු සාමාජික පැතුම් රණසිංහ මහතාගෙන් විමසීමක් කළේය. එවැනි ලිපියක් දිලිත් ජයවීර මහතා විසින් ඉදිරිපත් කර නොමැති බවත් එම ලිපිය ව්‍යාජ ලිපියක් බවත් ඒ මහතා තහවුරු කළේය.

එමෙන් ම අපි මේ පිළිබඳව සර්වජනබල සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගෙන් විමසීමක් කළෙමු. තම සන්ධානය වෙත මේ වන තෙක් එවැනි ලිපියක් ලැබී නොමැති බව අප කළ විමසීමේදී ඒ මහතා පැවසීය.

නිගමනය : මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා මෙවර ජනාධිපතිවරණයේ සර්ව ජන බල සන්ධානයේ අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් නොවන බවට ලිපියක් සංසරණය විය. මේ වන තෙක් එවැනි ලිපියක් නිකුත් කර නොමැති බව අප කළ විමසීමේදී තහවුරු විය. ඒ අනුව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන බව සඳහන් ලිපිය ව්‍යාජ බව නිගමනය කළ හැකිය. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න