Hashtag Generation

දෙහිවල සත්ත්ව උද්‍යානයේ බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ මෑතක දී සංසරණය වු සියලු ඡායාරූප එම සත්ව උද්‍යානයේ සිටින සතුන්ගේ නොවෙයි.

සමාජ මාධ්‍ය (Facebook) ඔස්සේ පසු ගිය දින කිහිපයේ දෙහිවල සත්ව උද්‍යානයේ බවට පෙන්වා දෙමින් සතුන් කිහිප දෙනෙකුගේ ඡායාරූප කිහිපයක් සංසරණය විය. එම ඡායාරූප සංසරණය වීමත් සමග දෙහිවල සත්ව උද්‍යානය සම්බන්ධයෙන් බොහෝ පිරිසක් දැඩි විරෝධතාවයක් දක්වා තිබිණි. එයට හේතුව ලෙස පෙන්වා දී ඇත්තේ එම සතුන් සත්ව උද්‍යානය තුළ නිදහසක් නොමැතිව, අසනීපව කාලය ගත කරන බවයි. එලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය වු ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

අප මේ පිළිබඳව කරුණු පරීක්ෂාවක් සිදු කරණු ලැබීය. අප විසින් ඒ අනුව සිදු කරනු ලැබුවේ බහුලව සංසරණය වූ සිංහයා හා වඳුරාගේ ජායාරූප ගූගල් රිවස් ඉමේජ් {Google Reverse Image} ඔස්සේ පරික්ෂා කර බැලීමයි.

එයින් අපට දැක  ගැනිමට හැකි වුයේ සිංහයාගේ සහා වඳුරාගේ ඡායාරූප ශ්‍රී ලංකාවේ දෙහිවල සත්ව උද්‍යානයට අයත් සතුන්ගේ ජායාරූප නොවන බවටයි.

සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි වශයෙන් සංසරණය වු සිංහයාගේ ඡායාරූපය ඇල්බේනියා නැමැති රටේහි පෞද්ගලික සෆාරී සත්ව උද්‍යානයක සිටින සිංහයකුගේ බව තහවුරු විය. මේ පිළිබඳව ඩේලි මේල් (Dailymail) පුවත්පතෙහි 2018 ඔක්තෝම්බර් 16 වෙනි දින ලිපියක්ද පළ වී ඇත. එහි තිර ඡායාරූප කිහිපයක්  පහතින් දැක්වේ.

 

තව දුරටත් කරුණු පරික්ෂා කිරීමේදි අපට දැක ගැනීමට හැකි වුයේ දෙහිවල සත්ව උද්‍යානයට අයත් සමාජ මාධ්‍ය ගිණුමක ( FaceBook) දෙහිවල සත්ව උද්‍යානයේ සිටින සිංහයන් සතර දෙනෙකුගේ ඡායාරූපයක් පළ කර තිබිමයි. එහි තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

ඉන් පසුව අප සිදු කරනු ලැබුවේ දෙහිවල සත්ව උද්‍යානයේ බවට හඟවමින් සංසරණය වු වඳුරාගේ ඡායාරූපය ගූගල් රිවස් ඉමේජ් {Google Reverse Image} තුළින් පරික්ෂා කර බැලීමයි.

එහිදී අපට දැක ගැනීමට හැකි වුයේ මෙම ඡායාරූපය ඉන්දියාවේ සත්වයෙක්ගේ බවයි. මෙම ඡායාරූපය 2022 මාර්තු 29 දින Pexels ඡායාරූප වෙබ් අඩවියේ පළ කර ඇති ඡායාරූපයක් බවට අපට දැක ගැනීමට හැකි විය. එම ඡායාරූපය 2019 ඉන්දියාවේ අහමදාබාද් ප්‍රදේශයේදි ගත් ඡායාරූපයක් බව එහි වැඩි දුරටත් සඳහන් කර තිබිණි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දෙහිවල සත්ව උද්‍යානයේ බව හඟවන සිංහයාගේ හා වදුරාගේ ඡායාරූපය පිළිබදව එහී නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු මහත්මියෙන් අප කරුණු විමසූවේය. 

එතුමිය කියා සිටියේ මෙම ඡායාරූප තමන්ගේ උද්‍යානයේ සිටින සතුන්ගේ බවට පවසමින් ගෙන යන ප්‍රචාරය අසත්‍ය බවයි. 

“මෙවැනි තත්වයක සිටින සිංහයෙක් හෝ වඳුරෙක් අප සත්ව උද්‍යානය තුළ නැහැ. උද්‍යානයේ සිටින සිංහයන් සහා වඳුරන් ඉතා නිරෝගීව සිටිනවා” ඇය අපට වැඩි දුරටත් පවසා සිටියේය.

අප තව දුරටත් ඇයගෙන් විමසා සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වු සියලු ඡායාරූප දෙහිවල සත්ව උද්‍යානයට අයත් ඒවා නොවේද යන්නයි.

“ඔය අතරින් සමහර ඡායාරූප අප සත්ව උද්‍යානයේ ඡායාරූප බව පිළිගත හැකි. නමුත් සිංහයාගේ සහා වඳුරාගේ ඡායාරූප තමයි වැඩි වශයෙන් සංසරණය වුනේ. එම සතුන් දෙදෙනා විශාල අපහසුතාවයකින් ජිවත් වෙන විදිය තමයි ඒවා මගින් පෙන්නේ. වගකීමෙන් කියන්නේ මේ අපේ සත්ව  උද්‍යානයේ සතුන්  දෙදෙනෙක් නෙවෙයි”

එතුමිය සංසරණය වූ ජායාරූප අතර තිබු වලසෙකුගේ ඡායාරූපය දෙහිවල සත්ව උද්‍යානයේ දී ලබා ගත එකක් බව තහවුරු කරනු ලැබුවා. 

“එම සත්වයා දැන් ගොඩක් වයසයි. සමානයෙන් වලසෙකු ජිවත් වෙන්නේ වසර 20-30 අතර කාලයක් නමුත් මේ සත්වයාට දැන් වයස 36 ක් එයා එයාගේ කාලෙටත් වැඩිය ඉදලා තියෙනවා. එයා දැන් වයසයි ඒකයි එයා අපහසුවෙන් ඉන්න ආකාරයක් පෙන්නේ” යැයි පැවසීය. 

සමාජ මාධ්‍ය තුළ දෙහිවල සත්ව උද්‍යානය සම්බන්ධයෙන් පණිවුඩ සංසරණය වීම මත ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍යක් වන ස්වර්ණවාහිනී Live  at 8 ප්‍රවෘත්ති  කණ්ඩායම දෙහිවල සත්ව උද්‍යානය වෙත ගොස් වගකිව යුතු නිලධාරීන්ගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසීමක් සිදු කර ඇත. ස්වර්ණවාහිනී Live at 8 ප්‍රවෘත්ති කණ්ඩායම නියෝජනය කරමින් සංඛ දමින්ද මහතා දෙහිවල සත්ව උද්‍යානයට ගොස් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වු ඡායාරූප පිළිබදව කරුණු විමසීමක් සිදු කර ඇත. මේ සම්බන්ධයෙන් දෙහිවල සත්ව උද්‍යානයේ සංවර්ධන නිලධාරී S. සමරනායක මහතා පිළිතුරු ලබා දී ඇත. ඔහු පවසා ඇත්තේ “මෙම ඡායාරූප සියල්ල සත්‍ය නොවන බවයි”. “ තවද ඔහු පවසා ඇත්තේ සමාජ මාධ්‍ය තුළ පවසන ආකාරයට කිසිදු හිරිහැරයක් සත්වයින්ට මෙම ස්ථානයේ සිදු නොවන බවයි”. “දහවල් කාලයේ සතුන් ඔවුන්ගේ ක්‍රියාකාරීබව අඩු කරන්නේ අධික රස්සනය සහා ඔවුන් දහවල් කාලයේ නින්දට යන නිසා බවද පවසා ඇත”. “ඔවුන් උදෑසන කාලයේ සහා සවස් කාලයේ ක්‍රියාකාරීව සිටිනා බවද එම මහතා පවසා ඇත”. ස්වර්ණවාහිනී නාලිකාව මෙම ස්ථානයේ සිදු කල සම්පුර්ණ වැඩසටහන නැරඹීමට මෙතැනින් පිවිසෙන්න.

නිගමනය: දෙහිවල සත්ව උද්‍යානයේ බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප සියල්ලම දෙහිවල සත්ව උද්‍යානය ඡායාරූප නොවේ. වෙනත් රටවල වෙබ් පිටු තුළින් ලබා ගත් ජායාරූප බව තහවුරු විය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.