Hashtag Generation

මඩ ප්‍රචාර දැනුම් දීමට නව දුරකථන අංකයක්” යන සිරස්තලය සහිත ජාතික ජන බලවේගයේ ලිපිය ව්‍යාජයි.

ජාතික ජන බලවේගයේ පක්ෂ සාමාජිකයකුගේ නම, අත්සන හා ලිපි ශීර්ෂය ව්‍යාජ ලෙස යොදා ගනිමින් මාධ්‍ය ප්‍රධානීන්ට හා කතුවරුන්ට යොමු කර ඇති ලිපියක් පිළිබඳව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අගෝස්තු 29 වෙනිදා ජාතික ජන බලවේගය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී. 

ඉදිරියට ඇති තීරණාත්මක කාලය තුළ එවැනි තවත් දේ සිදු විය හැකි බවත් අත්සන් සහ ලිපි ශීර්ෂ යොදා ගනිමින් මහජනතාව නොමඟ යවන ලිපි ආදිය ජනතාව අතරට පැමිණිය හැකි බවත්  සුනිල් හඳුන්නෙත්ති මහතා එහි දී මාධ්‍ය වෙත පැවසීය. 

මෙම පුවත සමඟම ජාතික ජන බලවේගයේ ලිපි ශීර්ෂය සහිතව “මඩ ප්‍රචාර පිළිබඳ තොරතුරු ලබාදීමට නව දුරකථන අංකයක්” යන මාතෘකාව සහිත ලිපියක් සමාජ මධ්‍ය ඔස්සේ සංසරණය වනු දැක ගත හැකි විය.

එලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ලිපියේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

මාලිමාව ඉලක්ක කර මඩ ප්‍රචාර පතුරවන පුද්ගලයන් පිළිබඳව පහත දුරකථන අංක ඔස්සේ දැනුම් දෙන ලෙස සඳහන් කරමින් දුරකථන අංක ද්විත්වයක් ද මෙහි දක්වා ඇත.

එමෙන් ම මෙම ලිපිය 2022 වර්ෂයේ දිනයක් සඳහන් කර ඇති අතර මෙම ලිපිය සදහා අත්සන් තබා ඇත්තේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර බව නිරීක්ෂණය විය. නමුත් මෙහි සදහන් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය 2023 වර්ෂයේ ආරම්භ කරන ලද්දකි.

මෙම ලිපිය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රන්ජන් මහතාගෙන් විමසීමක් කළ අතර මෙය සම්පුර්ණයෙන් ම ව්‍යාජ ලෙස සකස් කළ ලිපියක් බව ඔහු තහවුරු කළේය. ජාතික ජන බලවේගයෙන් මෙවැනි ලිපියක් නිකුත් නොකළ බව ඔහු වැඩිදුරටත් තහවුරු කළේය. 

මෙම ලිපියේ දුරකථන අංක ද්විත්වයෙන් වට්ස්ඇප් ලෙස ලබා දී ඇති දුරකථන අංකය ජාතික ජන බලවේගයේ සාමාජිකයකුගේ පෞද්ගලික දුරකථන අංකයක් බවද ලිපිය පිළිබඳ වැඩිදුර තොරතුරු විමසීමේදී තහවුරු විය.

ඒ අනුව “මඩ ප්‍රචාර පිළිබඳව තොරතුරු ලබාදීමට නව දුරකථන අංකයක්” යන ශීර්ෂ පාඨය සහිත ලිපිය ව්‍යාජ එකක් බව පැහැදිලිය.

නිගමනය : ජාතික ජන බලවේගය විසින් “මඩ ප්‍රචාර පිළිබඳව තොරතුරු ලබා දීමට දුරකථන අංක සහිතව සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කළ ලිපියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. එවැනි ලිපියක් ජාතික ජන බලවේගය විසින් නිකුත් නොකළ බව තහවුරු විය. ඒ අනුව එම ලිපිය ව්‍යාජ එකක් බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න