ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වන දින පැවැත්වීමට නියමිතය. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිත දිනට පසු දින ඉල් පුර පසළොස්වක පෝය දිනය යි. “ඡන්දය නිසා පෝදා විකාශන වැඩසටහන් තහනම්” යනුවෙන් සඳහන් කරමින් සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.
එලෙස ෆේස්බුක් සහ යූ ටියුබ් සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ සටහන්වන්වල තිර ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ.
“ගමේ ගොවි පුතා දහමටත් අත තිබ්බා, ඡන්දය නිසා පෝදා විකාශන තහනම්, සන්තෝසෙ බෑ” යනුවෙන් ෆේස්බුක් සටහනේ සඳහන් විය. එමෙන් ම බලංගොඩ කස්සප හිමියන් විසින් සිදුකරනු ලබන මාධ්‍ය සාකච්ඡාවක් “විහාරස්ථාන පෝදා විකාශනයන් තහනම් වේ” යන සිරස්තලය සහිතව යූ ටියුබ්වල පළ වි තිබුණි.
මැතිවරණ උණුසුමත් සමඟ මෙවැනි පුවත් සංසරණය වීම බලපෑම්කාරී විය හැකි බැවින් මෙහි සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කර බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.
ඒ අනුව පෝදා විකාශන කටයුතු තහනම් කිරීමට පියවර ගෙන ඇත්දැයි අපි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒ.එම්.එල්. රත්නායක ගෙන් විමසීමක් කළෙමු. එය සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතුරක් බවත් එවැනි තීරණයක් ගෙන නොමැති බවත් සභාපතිවරයා පැවසීය. එසේ පෝදා වැඩසටහන් විකාශනය තහනම් කිරීමට කිසිඳු නීතිමය අවශ්‍යතාවක් නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
තවද අප මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශ සම්බන්ධීකරණ ලේකම් අනිල් අබේගුණවර්ධන ගෙන් ද තොරතුරු විමසනු ලැබිණි. මෙය අසත්‍ය තොරතුරක් බවත් ජනමාධ්‍ය අමාත්‍යාංශය එවැනි තීරණයක් ගෙන නොමැති බවත් ඔහු පැවසීය. දේශපාලනික අරමුණු වෙනුවෙන් ආගම සම්බන්ධ කරගෙන ජනතාව තුළ නව රජය කෙරෙහි අපැහැදීමක් ඇති කිරීමට මෙවැනි වැරදි තොරතුරු හුවමාරු කිරීම හරහා උත්සහ දරන බව ද ලේකම්වරයා පැවසීය.
එමෙන් ම ඡන්දයට පසු දින පෝය දින, බෞද්ධ විහාරස්ථාන වල විකාශන කටයුතු තහනම් කිරීමට කුමන හෝ ආරක්ෂක පියවරයක් ගෙන ඇත්දැයි නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව ගෙන් විමසීමක් කළේය. එවැනි දෙයක් සම්බන්ධයෙන් පොලීසිය විසින් කිසිඳු තීරණයක් හෝ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. මැතිවරණ කාල වකවානුවේදී ශ්‍රී ලංකා පොලිසිය මැතිවරණ කොමිෂන් සභාවේ තීරණවලට අනුව කටයුතු කරන බවත් මේ වන තෙක් එවැනි ක්‍රියාමාර්ගයක් පිළිබදව දැනුම් දී නොමැති බවත් සුපුරුදු පරිදි පෝය දින කටයුතු කරගෙන යා හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අප වෙත පැවසීය.
නිගමනය : ඡන්දය නිසා පෝ දා විකාශන කටයුතුවලට කිසිඳු බාධාවක් නොවන බව කළ විමසීම්වලදී තහවුරු විය. මේ අනුව මැතිවරණය හේතුවෙන් පෝදා වැඩසටහන් තහනම් බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් ව්‍යාජ බව නිගමනය කළ හැකිය.
අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.