Hashtag Generation

ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී නැත.

ශ්‍රී ලංකාවේ පැවති ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙරට 9 වෙනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය. ඒ සමඟ පාර්ලිමේන්තුවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ආසනයක් පුරප්පාඩු වූ අතර ඒ සඳහා ජාතික ජනබලවේගයේ ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතාව තේරී පත්විය. මේ පිළිබඳව ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය තුළ විවිධ පුවත් වාර්තා දැකගත හැකි විය. 

“කොළඹ ආසනයේ අනුර කුමාර දිසානායක මහතාගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා නිපුන ආරච්චි මහතා ඊයේ දිවුරුම් දුන්නේය” යනුවෙන් සඳහන් පුවතක් Daily Mirror පුවත්පතේ ලිපියක සඳහන් වී තිබුණි.

Daily Mirror පුවත්පතේ පළ වූ ලිපියේ තිරඡායාරූපයක් පහතින් දක්වා ඇත.

ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ බව සඳහන් වුවද ඔහු පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් බවක් වෙනත් පුවත් වාර්තාවල සඳහන් වී නොතිබුණි. මේ නිසා මේ පිළිබඳව කරුණු විමසා බලා පැහැදිලි කිරීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය. 

ඒ අනුව අපි මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයෙන් විමසීමක් කළෙමු. ජාතික ජන බලවේගයේ පුරප්පාඩු වූ ආසනය වෙනුවෙන් ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතා තේරී පත් වූ බවත් එය මැතිවරණ කොමිෂන් සභාවේ විධි විධානවලට අනුකූලව සිදු වූ බවත් කථානායක කාර්යාලය පැවසීය. තවද ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායකවරයා ඉදිරියේ දිවුරුම් නොදුන් බව වැඩිදුරටත් පැවසීය. පාර්ලිමේන්තුව තුළ අසුන් ගැනීමට හැකිවන්නේ කථානායක ඉදිරියේ දිවුරුම් දීමෙන් පසුව බවත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ එය සිදු කළ නොහැකි බවත් පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලය වැඩිදුරටත් පැවසීය. 

තවද මේ පිළිබඳව පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි අනූෂා රෝහණදීර මහත්මියගෙන් ද විමසනු ලැබිණි. ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තු ගැසට් නිවේදනය තුළ සඳහන් වන නමුත් කථානායකවරයා ඉදිරියේ මේ වන තෙක් දිවුරුම් දී නොමැති බව ඇය පැවසුවාය. කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙන තෙක් ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතාට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නොහැකි බවද ඇය වැඩිදුරටත් කියා සිටියාය.

එමෙන් ම අපි මේ පිළිබඳව ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතාගෙන්ද විමසීමක් කළෙමු. පුරප්පාඩු වූ මන්ත්‍රී ආසනය වෙනුවෙන් ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතා තේරී පත් වුවද ඔහු කථානායකවරයා ඉදිරියේ දිවුරුම් නොදුන් බව වටගල මහතා පැවසීය. තවද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වන තෙක් ඔහුට ඒ සඳහා අවස්ථාව හිමි නොවන බවද ඒ මහතා පැවසීය.

නිගමනය : ජාතික ජන බලවේගයේ පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයට ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතා තේරී පත් වුවද ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී නොමැත. ඒ අනුව Daily Mirror පුවත්පතේ ලක්ෂ්මන් නිපුන ආරච්චි මහතා දිවුරුම් දුන් බවට සඳහන් ලිපියෙහි කොටස ව්‍යාජ බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.