Hashtag Generation

ශ්‍රී ලංකා පොලීසිය විසින් සම්මන්ත්‍රණයක් පවත්වන බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපිය ව්‍යාජ එකකි.

පොලිස් පණිවුඩ බවට සදහන් කරමින් මහජනතාව නොමග යැවෙන ආකාරයේ ව්‍යාජ පුවත් නිරන්තරයෙන්ම  සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය නිරීක්ෂණය වේ. එවැනි ආකාරයෙන් ශ්‍රී ලංකා පොලීසියේ නම භාවිත කරමින් පසුගිය දිනවල ව්‍යාජ ලෙස සකස් කරන ලද ලිපියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. එම ලිපිය පහතින් දැක්වේ.


මෙම ලිපියේ ධර්ම චක්‍රය සහිත නිල් පැහැති පොලිස් අත් ලාංඡනයක්, රබර් මුද්‍රාවක් හා පොලිස් නිල ලාංඡනය සහිත කහ පැහැති පසුබිමේ “CENTRAL OFFICE FOR THE FIGHT AGAINST CRIME RELATED INFORMATION AND COMMUNICATION- TECHNOLOGY හෙවත් ‘අපරාධ සම්බන්ධ තොරතුරු සහ සන්නිවේදන-තාක්‍ෂණයට එරෙහි සටන සඳහා වූ මධ්‍යම කාර්යාලය’ යන පොලිස් ඒකකයක් විසින් 2024 ජූලි 01 දින සම්මන්ත්‍රණයක් පවත්වන බවට සදහන් වෙයි. මෙහි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නම ද සදහන් කර ඇති බැවින් මෙම ලිපිය එතුමා විසින් නිකුත් කළ එකක් බවට හැඟවීමට උත්සහ කර ඇති බව නිරූපනය වෙයි. 

මේ පිළිබදව අප කරුණු විමසීමක් සිදු කිරීමට තීරණය කළ අතර මුලින්ම සිදු කරනු ලැබුවේ මෙම ලිපියේ අන්තර්ගතය පිළිබඳව සොයා බැලීමයි. මෙම ලිපියේ මුලින්ම දැක ගැනීමට හැකි වන්නේ ” CENTRAL OFFICE FOR THE FIGHT AGAINST CRIME RELATED INFORMATION AND COMMUNICATION – TECHNOLOGY ” = අපරාධ සම්බන්ධ තොරතුරු සහ සන්නිවේදන – තාක්ෂණයට එරෙහි සටන සදහා වූ මධ්‍යම කාර්යාලය යන ආයතනයක් සම්බන්ධවයි.

අප ශ්‍රී ලංකාවේ පොලීසියට මෙවැනි කාර්යාලයක් තිබේද යන්න සොයා බැලු අතර එවැනි කාර්යාලයක් පිළිබදව අපට ශ්‍රී ලංකා පොලීසියේ නිල වෙබ් අඩවිය තුල හෝ අන්තර්ජාලය තුල එවැනි කාර්යාලයක් පිළිබඳව සඳහනක් සොයා ගැනීමට නොහැකි විය. තව දුරටත් අප මෙවැනි ආයතනයක් ශ්‍රී ලංකාවේ තිබේද යන්න පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතාගෙන් කරුණු විමසන ලදි. ඔහු එහිදී මෙවැනි ආයතනයක් ලංකාවේ නොමැති බව තහවුරු කරන ලදී.

පසුව මෙම ලිපියේහී අන්තර්ගතයේ ඇති කරුණු සම්බන්ධයෙන් ඔහුගෙන් කරුණු විමසා සිටින ලදි.

මෙහි සඳහන් ආකාරයට පුද්ගලයෙකුගේ පරිඝණකයක ඇති තොරතුරු සහ දත්ත ශ්‍රී ලංකාවේ ඇති ස්වදේශ කටයුතු කාර්යාලයේ අන්තර්ජාල විමර්ශන ( Home office ) (ලිපියේ සඳහන් ආකාරයට ) කාර්යාලයට ලබා ගැනීමට හැකිද යන්නයි. ඔහු එහිදී පවසා සිටියේ මෙවැනි ආයතනයක්ද ශ්‍රී ලංකාවේ නොමැති බවයි.

අපට නිරීක්ෂනය වුයේ ස්වදේශ කටයුතු කාර්යාලය යනු එක්සත් රාජධානියේ ආගමන, ආරක්ෂාව සහ නීතිය හා සාමය සඳහා වගකිව යුතු එක්සත් රාජධානියේ රජයේ අමාත්‍ය දෙපාර්තමේන්තුවක් බවත් ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් අඩවියේ මෙරට එවැනි දෙපාර්තමේන්තුවක් ඇති බව සඳහනක් නැති බවයි. 

මෙම ලිපියේ දක්වා ඇති ආකාරයට මෙම ලිපිය ලැබෙන පුද්ගලයා ළමා අපචාර, ළමා අපරාධ, වැනි ජායාරූප පරිඝණකය තුළ තබා ගෙන ඇති බවට පෙන්වා දී ඇත. එම හේතුව මත එයට හේතු දක්වා පැය 48 ක් ඇතුලත ඔවුන්ට ප්‍රතිචාරයක් විද්‍යුත් පණිවිඩයක් ආකාරයෙන් ලබා දෙන බවට දන්වා ඇත.

එසේ නොමැතිව පැය 72 ක් ගත වුවහොත් ඔහුගේ සියලු තොරතුරු යුක්තිය පිළිබඳ සම්මේලනයකට, සයිබර්  අපරාධ ඒකකයට, මහා අධිකරණයට ලබා දෙන බව දන්වා ඇත. අප මේ පිළිබඳව ද නිහාල් තල්දූව මහතාගෙන් විමසා සිටි අතර ඔහු පවසා සිටියේ “මෙවැනි ක්‍රියාවන් සිදු කිරීමටද ලංකාවේ මහා අධිකරණයක් සහා සයිබර් අපරාධ ඒකකයි පිහිටා තිබුනත් මෙවැනි දෙයක් සිදු වීමට පළමුව පොලීසිය දැනුවත් වන බවයි”.

එම සියලු සාධක තුළින් අප මෙහි අන්තර්ගතයේ ඇති සියලු කරුණු ව්‍යාජ බව තහවුරු කර ගන්නා ලදි. ඉන් පසුව අප සිදු කරනු ලැබුවේ මෙම ලිපිය ශ්‍රී ලංකා පොලීසිය විසින් බෙදා හරින පණිවුඩයක්ද එසේ නොමැතිනම් එය ව්‍යාජ ආකාරයට වෙනත් පුද්ගලයෙකු හෝ ආයතයක් බෙදා හරින  පණිවුඩයක්ද යන්න සොයා බැලීමයි.

එම හේතුව මත අප ඉන් පසුව සිදු කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ විද්‍යුත් මාධ්‍යක හෝ පුවත්පතක මේ සම්බන්ධව කුමන හෝ තොරතුරක් පළ වී ඇත් ද යන වග සොයා බැලුවේය. එහිදී අපට පෙනී ගියේ මෙම ලිපිය  ව්‍යාජ එකක් බවට ශ්‍රී ලංකා පොලීසිය විසින් පළ කර ඇති නිවේදනයක් සහිත පුවතක් අද දෙරණ ප්‍රවෘත්ති නාලිකාවේ විකාශනය වී ඇති බවයි. එමෙන්ම හිරු ටීවී නාලිකාවේ වෙබ් පිටුව තුළ ද මේ සම්බන්ධ  ප්‍රවෘත්ති නිවේදනයක් පළ කර තිබුණි. මෙතැනින් සහ මෙතැනින්

මේ පිළිබදව වැඩිදුර තොරතුරු විමසා බැලීම සදහා  ශ්‍රී ලංකා පොලීසියේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගනු ලැබුවේය. එහිදී එතුමා කියා සිටියේ මෙවැනි කිසිදු සම්මන්ත්‍රණයක් පිළිබඳව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කර නොමැති බවත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් බවට එම ලිපියේ සදහන් වුවත් එවැනි යමක් තමා නිවේදනය කර නොමැති බව එතුමා වගකීමෙන් යුතුව පවසන බවට ප්‍රකාශ කළේය. තවදුරටත් කරුණු දක්වමින් මෙම ව්‍යාජ පුවත සිදු කර ඇත්තේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් දැනටමත් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව එතුමා පවසා සිටියේය. 

මෙම දැන්වීම  ව්‍යාජ පුවතක් බවට ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා පොලීසිය මාධ්‍ය නිවේදනයක් ලබා දුන් බවත් එතුමා තව දුරටත් පවසා සිටි අතර එම නිවේදනය පහතින් දක්වා ඇත. 

ශ්‍රී ලංකා පොලීසියේ නිල වෙබ් අඩවියේ මෙම ව්‍යාජ පුවත පිළිබදව සිදු කර ඇති නිවේදනයට මෙතැනින්

අප අවසාන වශයෙන් සිදු කරනු ලැබුවේ මෙම ලිපිය ව්‍යාජ ලිපියක් බවට තහවුරු විමෙන් පසු ලිපියේ සඳහන් ආකාරයට මෙය බාගත කර ගැනීමේදි සහා ඔවුන්ට පිළිතුරු පණිවුඩ ලෙස නැවත විද්‍යුත් පණිවුඩයක් මගින් පිළිතුරු ලබා දුනහොත් කුමන හෝ ආනාරක්ෂිත බවක් එය සිදු කරන පුද්ගලයාට ඇත්ද යන්න සොයා බැලීමයි. අප එය සයිබර් ආරක්ෂණ විශේෂඥයකු වන අසේල වෛද්‍යාලංකාර මහතාගෙන් විමසීමක් කළේය. ඔහු අපට පිළිතුරු ලබා දෙනු ලැබුවේ “මෙම ලිපිය ව්‍යාජ ආකාරයට සකස් කරපු එකක් මේකේ ප්‍රධානම අරමුණ මේක ලැබුන අයගේ පරිඝණකය තුළ තියෙන දත්ත සොරකම් කිරීම , මොකද මේකේ කියලා තියෙන විදියට ඔය ලිපිය කියවන්න අනිවාර්යයෙන් බාගත කර ගන්න අවශ්‍ය වන අතර බාගත කිරීමේදී අනිවාර්යයෙන් හැකැර්ස්ලාට දත්ත සොරකම් කරන්න පුළුවන්. ඒකට එයාලා අවශ්‍ය දේවල් කරලා තමයි මේ ලිපිය එවලා තියෙන්නේ. ඊට පස්සේ පිළිතුරක් යවන්න අවශ්‍ය ඊමේල් එකක් මාර්ගයෙන් නිසා එවිට අනිත් දත්ත ටිකත් කොහොමත් හැකර්ස්ලට ගන්න පුළුවන් .ඒ නිසා කිසිම නොදන්න කෙනෙක් එවන Pdf එකක් ,ජායාරූපයක් ,ලින්ක් එකක් හෙවත් පරිශීලක පිවිසුමක් ආවොත් එය විවෘත කරන්න එපා. අනිවාර්යයෙන් එවිට ඔයාලගේ දත්ත ඔවුන්ට පැහැර ගන්න පුළුවන්” . මේ ආකාරයට ඔහු අපට පිළිතුරු ලබා දුන්නේය.

නිගමනය: ශ්‍රී ලංකා පොලීසිය විසින් 2024 ජූලි 01 දින පවත්වන්නට නියමිත ව තිබූ සම්මන්ත්‍රණයක් පිළිබවදව පොලිස්පතිතුමා සිදු කළ නිවේදනයක් බවට හැගවෙන ආකාරයට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපිය ව්‍යාජ ලිපියකි. 

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.