Hashtag Generation

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ විවිධ තනතුරු සඳහා මේ දිනවල පුද්ගලයින් බඳවා ගන්නවාද?

පසුගිය කාලවකවානුවේදි විවිධ ආයතන සම්බන්ධ කරමින් එම ආයතන ලෙස පෙනි සිට විවිධ පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පණිවුඩ හුවමාරු කර ගැනීමක් අපට දැක ගැනීමට හැකි විය. ඒ ආකාරයෙන්ම සංසරණය වු පණිවුඩයක් පහතින් දැක්වේ.

ඉහත පණිවුඩය වට්ස්ඇප් මාධ්‍ය ඔස්සේ බෙදාගෙන තිබූ අතර එහි සඳහන් වන්නේ “මැතිවරණ කොමිෂන් සභාවේ පවතින රැකියා පුරප්පාඩු සඳහා පුද්ගලයන් බඳවා ගැනීමේ අයදුම් පත ලෙසයි”. මෙම පණිවුඩය බෙදා ගැනීමට ලක් වී තිබුණේ වට්ස්ඇප් සමූහ තුළ වන බැවින් එහි විවිධ පුද්ගලයින් අදහස් දක්වා තිබූ අතර, එහි නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමට හෑෂ්ටැග් පරපුර කටයුතු කරනු ලැබුණි.

ඒ සඳහා අප මුලින්ම ශ්‍රී  ලංකාවේ මැතිවරණ කොම්ෂන් සභාවේ නිල වෙබ් අඩවිය පරීක්ෂා කර බැලුණි. නමුත් වෙබ් අඩවිය තුළ මෙවැනි පණිවුඩයක් දැක ගැනීමට අපට නොහැකි විය. 

ඉන්පසුව අපට මැතිවරණ කොම්ෂන් සභාවේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කර බැලූ අතර අපට එහිදී දැකගැනීමට හැකි වූයේ මෙම පණිවිඩය ව්‍යාජ පණිවිඩයක් බවට ඔවුන් පළ කර ඇති සටහනකි.

තවදුරටත් අප මෙහි කරුණු තහවුරු කර ගැනීම සඳහා අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතාගෙන් කරුණු විමසා සිටියේය. කිසිදු රැකියා පුරප්පාඩුවක් පිරවීමට මැතිවරණ කොම්ෂන් සභාව විසින් මෙවැනි අයදුම්පතක් නිකුත් කර නොමැති බවට ඔහු තහවුරු කළේය. ඔහු තවදුරටත් පවසා සිටියේ එවැනි රැකියා පුරප්පාඩු  පවතිනවානම් ඔවුන්ගේ නිල වෙබ් අඩවියේ පළ කරන බවයි. මෙවැනි වැරදි පණිවුඩ සඳහා රැවටීමෙන් පුද්ගලයන්ගේ තොරතුරු ලබා නොදෙන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

ඉන්පසුව අප මෙම කරුණ සම්බන්ධයෙන් මැතිවරණ කොම්ෂන් සභාවේ මැතිවරණ කොමසාරිස් වන සමන් ශ්‍රී රත්නායක මහතාගෙන්ද කරුණු විමසා සිටියේය. මෙවැනි තොරතුරක් 2024 ජනාධිපතිවරණයට පෙරද සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගෙන තිබූ බවත්, එම අවස්ථාවේද මැතිවරණ කොම්ෂන් සභාවේ නිල නිවේදනයක් මගින් මෙවැනි පණිවුඩ වලට නොරැවටෙන ලෙස ජනතාවට දැනුම් දුන් බව ඔහු පවසා සිටියේය. මෙවැනි ව්‍යාජ පණිවිඩ දිගින් දිගටම සිදුවන බැවින් එවැනි පුද්ගලයන් සොයා ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට ඔහු පවසා සිටියේය. අවසානයේ ඔහු තහවුරු කර සිටියේ මෙවැනි රැකියා පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවීමක් මේ දිනවල සිදු නොවන බවයි.

මෙවැනි පණිවුඩ වට්ස්ඇප් මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම පුද්ගලයන් අතර බෙදා ගැනීම පසුගිය දින වල දැක ගැනීමට හැකි විය. එම නිසාවෙන් අප මේ සම්බන්ධයෙන් පුද්ගලයන්ට සිදු විය හැකි හානිදායක තත්ත්වය පිළිබඳව අන්තර්ජාල ආරක්ෂණය සම්බන්ධයෙන් ප්‍රවීණයෙකු වන අසේල වෛද්‍යාලංකාර කරුණු විමසා සිටියේය.

මෙවැනි පණිවුඩ පසුගිය දිනවල දිගින් දිගටම බෙදා ගැනීමක් දැක ගැනීමට හැකි වු බව ඔහුද තහවුරු කර සිටි අතර ඔහු පවසා සිටියේ  ඔවුන් නිතරම වැඩ සටහන් මගින්ද මෙවැනි පණිවුඩ බෙදා ගැනීම හෝ එම සබැඳියාවන් තුළට ඇතුළත් වීම තුළින්ද පුද්ගලයින්ට සිදු විය හැකි හානි දායක තත්ත්වයන් පිළිබඳව දැනුවත් කරන බවයි. මෙම පණිවුඩය සම්බන්ධයෙන් ද ඔවුන් පරීක්ෂාවක් කර බැලූ බව සබැඳියාවට ඇතුළත් වීමෙන් මැතිවරණ කොම්ෂන් සභාවේ කිසිදු තොරතුරක් එහි නොමැති බවත් එය ව්‍යාජ ආකාරයට සකස් කළ වෙබ් අඩවියක් බවත් අවසානයේදී යම්කිසි වූ ක්‍රීඩාවක් සඳහා ලියාපදිංචි කර ගැනීමක් එහි සිදුවන බව ඔහු පවසා සිටියේය. එම නිසාවෙන් මෙවැනි සබැඳි තුළට ඇතුළුවී තමන්ගේ පෞද්ගලික තොරතුරු ලබා නොදෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. තවද ඔහු ප්‍රකාශ කර සිටියේ මෙවැනි පණිවිඩයක් ඕනෑම පුද්ගලයකුට ලැබුණ අවස්ථාවකම රාජ්‍ය ආයතනයක් සම්බන්ධ කර ඇති පණිවුඩයක් නම් එම සබැඳියාවන් තුළට ඇතුළත් වීමට පෙර එම ආයතනයට ඇති නිල වෙබ් අඩවිය හෝ නිල සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කර බලා එම නිල වෙබ් අඩවි  තුළ ඇති දුරකථන අංක හෝ විද්‍යුත් තැපැල් සඳහා පණිවුඩයක් යොමුකර එහි නිරවද්‍යතාවය පරීක්ෂා කර බලා සබැඳියාවන් තුළ ඇති අයදුම්පත් සම්පූර්ණ කළ හැකි බවයි. එවිට කිසිදු අනාරක්ෂිත බවක් නොමැති බවට ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

නිගමනය : ශ්‍රී ලංකාවේ මැතිවරණ කොමිෂන් සභාවේ රැකියා පුරප්පාඩු සඳහා අයදුම්පත් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ කැඳවීමක් මේ දිනවල සිදු නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහා මැතිවරණ කොමසාරිස් තහවුරු කළේය. වට්ස්ඇප් ඔස්සේ බෙදාගැනෙන පණිවුඩය ව්‍යාජ පණිවුඩයක් බවට ඔවුන් තහවුරු කර සිටියේය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.