Hashtag Generation

“සර්ව ජන බල සන්ධානයේ ” සහය ජාතික ජන බලවේගයට ලබා දීමට තීරණය කර නැත.

2024 වසරේ මෙරට ජනාධිපතිවරණයක් සහ මහමැතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින් වැඩිවශයෙන් විවිධ දේශපාලන පක්ෂ, දේශපාලන නායකයින් ඉලක්ක කර ගනිමින්  අසත්‍ය පුවත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ආකාරය  දැක ගැනීමට හැකිය.

දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක් වී සර්ව ජන බලය නමින් නව සන්ධානයක් පසු ගිය මැයි මස 27 දින පිහිටුවා ඇත. ‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ තේමා කර ගනිමින් මෙම දේශපාලන ව්‍යාපාරය පිහිටුවා ඇත. මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, යුතුකම ජාතික සංවාද කවය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී සංසදය ද එක් වී මෙම නව සන්ධානය සදහා ගිවිසුම් ගත වි ඇත.

මෙලෙස නිර්මාණය කරනු ලැබූ නව දේශපාලන ව්‍යාපාරයේ සහය අනුර කුමාර ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ලබාදීමට තීරණය කර ඇති බවට පසු ගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය තුළ පණිවුඩයක් සංසරණය විය. එහි තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.


හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට තීරණය කළ අතර එහිදී ප්‍රථමයෙන් සිදු කරන ලද්දේ ” සර්ව ජන බල ව්‍යාපාරය” හා ගිවිසුම් ගත වු පක්ෂ කිහිපයක නායකයින්ගෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන සටහන් පිළිබද විමසීමයි. 

ඒ අනුව ස්වාධීන මන්ත්‍රී සංසදයේ  නායක චන්න ජයසුමන මහතාගෙන්ද, කොමියුනිස්ට් පක්ෂයේ නායක වීරසුමන වීරසිංහ මහතාගෙන් මෙන්ම ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ඒකකය හරහා තොරතුරු විමසා බැලුවේය.එහිදී සියලු ම පක්ෂවලින් කියා සිටියේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වන පණිවුඩය අසත්‍ය බවත් ඔවුන් කිසිදු විට තමන්ගේ සහය අනුර කුමාර දිසානායකට ලබා දීමට තීරණය කර නොමැති බවද ප්‍රකාශ කර සිටින ලදී.

තවදුරටත්  ජාතික ජන බලවේගයේ මාධ්‍ය සම්බන්ධීකාරක උපුල් රංජන් මහතාගෙන් මේ පිළිබදව විමසා සිටියේය. එහිදී ඔහු ද ප්‍රකාශ කර සිටියේ සමාජ මාධ්‍ය සටහන්වල පළ වන ආකාරයේ  කිසිදු සහයක් අප පක්ෂයට ලැබෙන බවට කිසිදු තොරතුරක් තවම ජාතික ජන බලවේග පක්ෂයට ලැබී නොමැති බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයේ නෙත් නිව්ස් (Neth News)හි නිල ලාංඡනය භාවිත වී තිබූ බැවින් අප නෙත් නිව්ස්හි නිල ෆේස්බුක් (FaceBook) ගිණුම පරීක්ෂා කළේය. කෙසේ නමුත් සමාජ මාධ්‍ය තුළ සංසරණ වූ ඡායාරූපයේ දැක ගැනීමට හැකි වූ ආකාරයෙන් සර්ව ජන බල පක්ෂයේ සහය අනුරට හිමිවන බවට සදහන් සටහනක් නෙත් නිව්ස්හි ෆේස්බුක් පිටුවේ දක්නට ලැබුණේ නැත. ඒ වෙනුවට එහි පළ වී තිබුණේ “විමල්, ගම්මන්පිළ එක් වු සර්ව ජන බලයේ සහය ජනපතිට හිමිවන ලකුණු” යනුවෙන් සදහන් වූ සටහනකි. එහි තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

ඒ අනුව පැහැදිලි වූයේ මහජනතාව නොමග යැවීමේ අරමුණින් නෙත් නිව්ස්හි පළ කරන ලද සටහන සංස්කරණය කර පළ කර ඇති  බවයි.

නිගමනය : “සර්ව ජන බල සන්ධානයේ” සහය අනුර කුමාර ප්‍රමුඛ ජාතික ජන බලවේගය සඳහා ලබා දීමට තීරණය කර නොමැත.


අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින්  පිවිසෙන්න.