Hashtag Generation

“සිංහල ජනතාව පරාජය කළ හැක්කේ සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබා දීමෙන් පමණක්” බව එම්.ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර නැත.

ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ජනාධිපතිවරණයකට උතුරු – නැගෙනහිර ඡන්ද අතිශය වැදගත් ය. පැවති මැතිවරණවලදී උතුරු – නැගෙනහිර ඡන්දවලින් බහුතරයක් හිමිකරගත් පක්ෂයක් ලෙස ඉළංගෛ තමිළ් අරසුකච්චි පක්ෂය හැඳින්විය හැකිය.  ජනාධිපතිවරණයකදී ඉළංගෛ තමිළ් අරසුකච්චි පක්ෂයේ සහයෝගය හිමිවන්නේ කුමන අපේක්ෂාකයාට යන්න දැන ගැනීමට බොහෝ දෙනා නොයිවසිලිමත් ය. විශේෂයෙන් ම එය ජනාධිපතිවරණයක ජයග්‍රහණය සඳහා තීරණාත්මක සාධක⁣යකි. 

මෙවර ජනාධිපතිවරණයේදී තම පක්ෂය සහයෝගය දක්වන්නේ කුමන අපේක්ෂකයාට ද යන්න විවිධ මතිමතාන්තර සහ අදහස් ඉළංගෛ තමිළ් අරසුකච්චි පක්ෂය තුළ දැකගත හැකි විය. කෙසේ නමුත් අවසානයේදී මෙවර ජනාධිපතිවරණය සඳහා ඉළංගෛ තමිළ් අරසුකච්චි පක්ෂයේ සහය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බවට පසුගියදා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් මාධ්‍ය විසින් වාර්තා කරන ලදී. එම නිවේදනයත් සමග විවිධාකාරයේ අදහස් සහ සටහන් සමාජ මාධ්‍ය තුළ පළ විය.

ඒ අතර “සිංහල ජනතාව පරාජය කළ හැක්කේ සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබා දීමෙන් පමණි – සුමන්තිරන්” යනුවෙන් සඳහන් පුවත්පත් වාර්තාවක් සහිත සටහනක් සැප්තැම්බර් 02 වන දා සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. 

සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ සටහනේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතාගේ ඡායාරූපයක් සහිත පුවත්පත් වාර්තාව ද සමඟ “සුමන්දිරන් සජිත්ට සහය දෙන හේතුව පැහැදිලියි” යනුවෙන් සටහනේ සඳහන් වී තිබුණි. 

මැතිවරණයක් ආසන්නයේදී මෙවැනි පුවත් සංසරණය වීම පොදු මහජනතාවට ම බලපෑමක් ඇති කළ හැකි බැවින් මෙහි සත්‍ය අසත්‍යතාවය විමසා බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

2019 වර්ෂයේ පැවති ජනාධිපතිවරණ කාල සීමාව තුළදී ද මෙම පුවත්පත් වාර්තා සහ එය පාදක කොට ගත් සටහන් සංසරණය වී තිබෙණු දැක ගත හැකිවිය. එමෙන් ම ඒ පුවත සම්බන්ධයෙන් 2023 වර්ෂයේ සිදු කරනු ලැබූ කරුණු පරීක්ෂාවක් ද දැකගත හැකි විය.

එම්. ඒ. සුමන්තිරන් මහතා සිදුකළා යැයි සඳහන් මෙම ප්‍රකාශයට හේතු වී ඇත්තේ ඔහු විසින් 2019 නොවැම්බර් 11 වැනි දින මඩකලපුවේදී දමිළ භාෂාවෙන් සිදු කරන ලද කතාවකි. දමිළ සහ මුස්ලිම් සුළු ජාතීන් වෙනුවෙන් හඬක් නැගිය හැකි පුද්ගලයා සජිත් ප්‍රේමදාස බැවින් ඔහුට ඡන්දය ලබා දෙන ලෙස එම වීඩියෝවේ සුමන්තිරන් ප්‍රකාශ කර තිබුණි.

තවද එලෙස පළ වූ පුවත්පත් වාර්තා ව්‍යාජ බව සඳහන් කරමින් සුමන්තිරන් මහතා නීතිමය පියවර ගත් බව සඳහන් පුවත් ද මේ පිළිබඳව සිදු කළ විමසීමේ දී අපට හමුවිය.

ඒ අනුව සුමන්තිරන් මහතා මේ සම්බන්ධයෙන් ගත් නීතිමය පියවර පිළිබඳව සහ මෙම පුවත් නැවත සංසරණය වීම පිළිබඳව සුමන්තිරන් මහතාගේ ලේකම්වරිය වශයෙන් කටයුතු කරන ප්‍රිසිලා බාලචන්ද්‍රන් මහත්මියගෙන් අපි විමසීමක් කළෙමු. 

මෙවැනි ප්‍රකාශයක් සුමන්තිරන් මන්ත්‍රීවරයා සිදු කර නොමැති බව ඇය තහවුරු කළාය. 2019 වර්ෂයේ මේ සම්බන්ධයෙන් පළ වූ පුවත්පත් සම්බන්ධයෙන් ඔහු නීතිමය පියවර ගත් බවත් එහි එක් නඩුවකට අදාළව තීන්දුව ලබා දීම එළැඹෙන සැප්තැම්බර් 10 වෙනිදා පැවැත්වීමට නියමිත බවත් ඇය පැවසුවාය.

විවිධ කණ්ඩායම් විසින්  ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අරමුණු කරගෙන මෙවැනි පුවත් වරින් වර මතු කර ජනාතාව නොමඟ යැවීමට උත්සහා ගන්නා බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

නිගමනය : “සිංහල ජනතාව පරාජය කළ හැක්කේ සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබා දීමෙන් පමණි යනුවෙන් සුමන්තිරන් මහතා ප්‍රකාශ කර නැත. සුමන්තිරන් මහතා එවැනි ප්‍රකාශයක් කළ බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන සටහන් මහජනතාව නොමග යවන බව නිගමනය කළ හැකියි.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න