Hashtag Generation

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධූරයට තේරී පත් වුණාද?

රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා පැවති ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තරඟ වැදුණු අතර එහිදී ඔහුට ජයග්‍රහණය කිරීමට නොහැකි විය. මේ සමඟ රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් විවිධ පුවත් සහ තොරතුරු සමාජ මාධ්‍ය තුළ බහුලව දැක ගත හැකි විය. 

ඒ අතර ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධූරයට තේරී පත් වී ඇති බව සඳහන් සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය තුළ දැක ගත හැකි විය. එමෙන් ම සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ ඇතැම් සටහන් තුළ “ලබන වසර මුල් කාර්තුවේදී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ලෙස වැඩ භාර ගැනීම සඳහා පිටත්ව යනු ඇත” යනුවෙන් සඳහන් වී තිබුණි.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ සටහන් කිහිපයක තිර ඡායාරූප පහතින් දැක්වේ.

රනිල් වික්‍රමසිංහ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධූරයට තේරී පත් වී ඇද්දැයි යන්න කරුණු විමසා බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

මේ සම්බන්ධයෙන්⁣ තොරතුරු විමසා බැලීමට ආසියානු සංවර්ධන බැංකුවේ (Asian Development Bank) නිල වෙබ් පිටුව පරීක්ෂා කළේය. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධූරය සඳහා නව පත් කිරීමක් පිළිබඳ තොරතුරු එහි නොවුණි.

එමෙන් ම ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩලය විසින් සභාපතිවරයා තෝරා පත් කර ගන්නා බවත් එය අදියර 2 ක් යටතේ ක්‍රියාත්මක වන බවත් අසියානු සංවර්ධන බැංකුවේ නිල වෙබ් පිටුවේ වැඩිදුරටත් සඳහන් විය. එහි එක් අදියරක් නාම යෝජනා භාර දීම වන අතර අනෙක් අදියර මැතිවරණය බවද සඳහන් වී තිබුණි. 2024 වර්ෂය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීමට නාම යෝජනා භාර දීමට පසුගිය සැප්තැම්බර් 24 සිට ඔක්තෝම්බර් 23 දක්වා කාලය හිමි වූ අතර නාමයෝජනා භාර දීමට ආසියානු සංවර්ධන බැංකුවේ ආණ්ඩුකාරවරුන්ට ආරාධනා කර තිබුණි. එමෙන් ම විද්‍යුත් ක්‍රමයක් හරහා මැතිවරණය පැවැත්වීමට නියමිත අතර එය ඔක්තෝම්බර් 28 වනදා සිට නොවැම්බර් 27 දක්වා පැවැත්වීමට නියමිත බව ද වෙබ් පිටුවේ වැඩිදුරටත් සඳහන් විය. 

2024 වර්ෂය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා තෝරා ගැනීමේ කාල සටහනේ තිරඡායාරූපයක් පහතින් දැක්වේ.

තවද වර්තමානයේ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ලෙස Fabio Panetta කටයුතු කරනු ලබන අතර සමාජික රටක් වන ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරවරයා වශයෙන් වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කරනු ලබන අතර විකල්ප ආණ්ඩුකාරවරයා වශයෙන් මහින්ද සිරිවර්ධන මහතා කටයුතු කරනු ලබයි.

මේ පිළිබඳව තවදුරටත් තොරතුරු දැනගැනීම සඳහා අපි ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත ආයතනයේ සන්නිවේදන නිලධාරිනිය වන රෝෂණී යෝගරාජා මහත්මියගෙන් විමසීමක් කළෙමු.

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා තෝරා ගැනීමේ මැතිවරණ ක්‍රියාවලිය සැප්තැම්බර් 24 වෙනිදා ආරම්භ වූ බවත් එය නොවැම්බර් 27 වැනිදා දක්වා පැවෙත්වෙන බවත් ඇය සඳහන් කළාය. අධ්‍යක්ෂක මණ්ඩලයේ ඡන්ද සටහන් කිරීමෙන් පසු මැතිවරණයේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවත් රනිල් වික්‍රමසිංහ මහතා සභාපති ධූරයට තේරී පත් වී ඇති බවට පළවන සටහන් අසත්‍ය ඒවා බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.

මේ සම්බන්ධයෙන් අප වික්‍රමසිංහ මහතා නායකත්වය හොබවන එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායක රවී කරුණානායක මහතාගෙන්ද විමසීමක් කළ අතර මෙය අසත්‍ය තොරතුරුක් බව ඔහු තහවුරු කළේය.

තවද එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශයේ ශානුක කරුණාරත්නගෙන් ද මේ සම්බන්ධව විමසීමක් කළ අතර එවැනි තොරතුරක් මේ වන තෙක් ඔවුන්ට ලැබී නොමැති බව ඔහු  තහවුරු කරන ලදී.

නිගමනය : ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ලෙස තේරී පත් වූ බවට සමාජ මාධ්‍ය තුළ සටහන් පළවිය. ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා තේරීමේ මැතිවරණ ක්‍රියාවලිය මේ වන විට ක්‍රියාත්මක අතර රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත් වූ බවට පළවන සටහන් ව්‍යාජ බව නිගමනය කළ හැකිය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.