2021 පෙබරවාරි මස 11 වන බ්‍රහස්පතින්දා
කොළඹ- ශ්‍රී ලංකාව
දේශපාලන බල අරගලයේ එක් පියවරක් ලෙස පී2පී පාගමන
නිදහසින් පසු වසර 30 ක් පමණ ගත වූ තැන සිට මෙරට දේශපාලන බලාධිකාරයේ බොහෝ වෙනස්වීම් සඳහා බලපෑ තීරක සාධකයක් ලෙස අයිතීන් මුල්කරගන්නා ලද අරගලයන් හේතු වී ඇති බව පෙනී යන අතර එය සුළු ජාතික අයිතිවාසිකම්, භාෂා අයිතීන් , කම්කරු අරගලයන් මෙන්ම තරුණ අයිතීන් ලබාගැනීම ආදී ක්ෂේත්‍රයන් ඔස්සේ විවිධාංගීකරණය විය. එවන් අයිතීන් ලබාගැනීම සඳහා ඒ දේශපාලන පක්ෂ, දේශපාලන බලවේග, බලපෑම් කණ්ඩායම් විසින් විවිධ ක්‍රමෝපායන් යොදාගෙන තිබෙන අතර පාගමන් හෝ පෙළපාලි දියත් කරමින් සිය මත වාද ජනගත කිරීම සඳහා උත්සාහ ගැනීම හෝ අයිතීන් ඉල්ලා හඬක් නැගීම මෙවන් ප්‍රයත්නයන්හි බොහෝවිට දක්නට ලැබෙන සංඝටකයකි.
දෙමළ සිවිල් සංවිධාන හා දේශපාලන පක්ෂ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 03 වන දා ආරම්භ කර පෙබරවාරි මස 07 වන දිනෙන් නිමාවට පත් වූ අතර යාපන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත්කරන ලද තහනම් නියෝග නොතකමින් දේශපාලන නියෝජිතයන්,ආගමික පූජකවරුන් සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් මෙන්ම මුස්ලිම් ජනතාවද මෙම පාද යාත්‍රාව සඳහා සිය ක්‍රියාකාරී සහභාගීත්වය දක්වන ලදී.මෙම පාදයාත්‍රාව පී ටු පී (p 2 p) යන සංක්ෂිප්ත නාමයෙන් හඳුන්වාදෙනු ලැබූ අතර නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සිට යාපනය දිස්ත්‍රික්කය දක්වා වූ බොහෝ ස්ථාන එමගින් ආවරණය කරන ලදි.
මෙම පාදයාත්‍රාව දියත්කිරීමේ සන්දර්භය පිළිබඳව අවධානය යොමුකිරීමේ දී ඔවුන්ගේ ඉල්ලීම් උතුරේ දමිළ ජනප්‍රජාවගේ අයිතීන් පමණක් නොව මුස්ලිම් ජනයාගේ හා වතුකර දෙමළ ජනතාවගේ ගැටළු පවා ඉස්මතු කර දැක්වීම සුවිශේෂී කරුණක් බව පෙන්වා දිය යුතු ය. ඒ අනුව
1- අතුරුදහන් කෙරුණු පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගැනීම
2- උතුරේ සිදුවන ඉඩම් අත්පත්කරගැනීමල හා මිලිටරිකරණය
3- බලහත්කාරයෙන් සිදුකරනු ලබන සිංහල ජනවාසකරණය
4- වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිකිරීම
5- කොවිඩ් 19 වැළඳී මියගිය පුද්ගලයන් ආදාහනය කිරීම
යනාදී ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ඔවුන් සිය විරෝධතාවය දක්වන ලද අතර මේ සඳහා සිවිල් සමාජ නියෝජිතයන්, පක්ෂ නියෝජිතයන් , මුස්ලිම් ජනතාව හා තරුණයන්ගේ දායකත්වය ලබාගැනීමට ඔවුන්ට හැකිවීම දේශපාලනික වශයෙන් ඔවුන් ලබාගත් ජයග්‍රහණයක් වශයෙන් පෙන්වා දිය හැකි ය.
මෙවන් උද්ඝෝෂණ හෝ පාදයාත්‍රා දේශපාලන බල අරගලයන්හි තවත් එක් යාන්ත්‍රණයක් වන අතර මෙකී පාදයාත්‍රාවේ අරමුණු හා ඓන්ද්‍රීය වශයෙන් සමානාත්මතාවයක් දක්වන්නා වූ පාදයාත්‍රා මීට පෙරද දියත් කරන ලද බව සඳහන් කළ යුතු වේ. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂ භූමිකාව හෙබ වූ සමයේ ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ රජයට එරෙහිව පාද යාත්‍රාවක් සිදුකරන ලද අතර එය 1992 මාර්තු මස 16 වන දින විහාරමහාදේවි උද්‍යානයෙන් ආරම්භ කර කතරගම පූජාභූමියෙන් අවසාන කරන ලද දින 18ක් පුරා දියත් කරන ලද එහි ප්‍රධාන ඉල්ලීම් 04ක් විය.
1- අතුරුදහන් කෙරුණු පුද්ගලයන් පිළිබඳ වගවීම
2- අධික ජීවන වියදම
3- පෞද්ගලීකරණය නතර කිරීම
4- යුද්ධය වෙනුවෙන් සාකච්ඡාමය විසඳුමක්
දෙමළ ජාතික සන්ධානය විසින් දියත් කරන ලද පී2පී පාදයාත්‍රාව දෙමළ ඩයස්පෝරාව විසින් කරන ලද බවත් එය ජාතිවාදී කුමන්ත්‍රණයක එක් පියවරක් වන බව උලුප්පා දැක්වීම සඳහා කැසකවන රජයේ දේශපාලනඥයන් මෙන්ම දකුණේ මාධ්‍ය සඳහා ඉහතින් සඳහන් කරන ලද දකුණේ පාදයාත්‍රාවේ සන්දර්භය සිහිගැන්වි යුතු යැයි සිතමි. මෑත කාලීන්ව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යහපාලන රජයට විරෝධතා දක්වමින් ජන සටන නමින් ද පාද යාත්‍රාවක් දියත්කරන ලදි.
මෙනයින් බලන කල ලෝක දේශපාලනයේ පමණක් නොව ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසට තුළ ද මෙවන් උද්ඝෝෂණ පෙළපාලි හා පාදයාත්‍රා දේශපාලන බලාධිකාරයන්ට එරෙහිව පවත්වා ඇති අතර ඒවායේ සාර්ථක අවසානයන් ද ලබා ඇත.
නමුත් පී ටු පී පාද යාත්‍රාව සම්බන්ධයෙන් දකුණේ මතවාදය වූයේ එය ජාතීවාදී අරගලයකට පණපෙවීමක් නැතහොත් දමිළ ඩයස්පෝරාවේ අනුබලය සහිතව දියත් කරන ලද්දක් වන බවයි. එමෙන්ම දකුණේ මාධ්‍ය ද ඊට ප්‍රමාණවත් මාධ්‍ය අවකාශයක් තනාදීමට ද උත්සුක වූයේ ද නැත.තව ද පාදයාත්‍රාව පිළිබඳව දකුණේ මාධ්‍ය ප්‍රමාණවත් ආවරණයක් ලබා නොදීම සම්බන්ධයෙන් ද මේ වන විට කථාබහක් ඇතිව තිබෙන අතර ඒ පිළිබඳව පුවත් විශ්ලේෂණය කරනු ලැබූ වෙරිටේ රිසර්ච් ආයතනය ද මේ සම්බන්ධව සිය විශ්ලේෂණය එක්කර තිබුණි.
කෙසේ නමුත් පී ටු පී පාගමන කවරතරම් සාර්ථකත්වයකට පත්වූයේ ද යන්නත් මෙහි දී සළකා බැලිය යුතු ය. මෙම පා ගමනට දියත් කිරීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝග නිකුත් කර තිබිය දී ද දින පහක් තිස්සේ පාගමන දියත් කිරීමට හැකියාව ලැබීමත් අවුවැසි නොතකා සිවිල් ජන සමාජ නියෝජිතයින් මෙන්ම මුස්ලිම් ජනයා ද ඊට සහභාගී කරවාගැනීමට සමත්වීම ඔවුන් ලද ජයග්‍රහණයක් වශයෙන් පෙන්වා දිය හැකි ය.
එමෙන්ම මෙම පාගමන සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හා වෙනත් තරුණ ජනකොටස් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ තරුණ මන්ත්‍රීවරයෙකු වන ශානික්‍යන් රාසමානික්කම් ද මෙකී දින පහ පුරා එක්වීම තුළින් තරුණ ප්‍රජාව දේශපාලනික වශයෙන් බලමුළු ගැන්වුනු අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකිය. සිවිල් සමාජ සංවිධාන නියෝජිතයෙකු වන එස් සී සී කෝවලන් මහතාගෙන් මාධ්‍යවේදියෙක් මෙම පාගමන සම්බන්ධව විමසා සිටි විට ඔහු ප්‍රගතිශීලී සිංහල ජනතාවට ද මෙකී පාගමනට එක්වන ලෙසට ආරාධනා කරන ලදි.
උද්ඝෝෂණ පාගමන්, පෙළපාලි , පාදයාත්‍රා ආදී විවිධ නාමයන්ගෙන් හඳුන්වනු ලබන්නා වූ මෙවන් පියවරයන් දේශපාලන පක්ෂ හෝ අරගලයන් සඳහා සැළකියයුතු වටිනාකමක් ලබාදෙනු ලබන බව කිවමනාය. චීනය, මියන්මාර්ය මෙන්ම වෙනත් පෙර අපරදිග රටවල විවිධ කාල සමයන්හි දේශපාලන නායකයන් වටා එක්රොක් වූ පොදු ජනතාව, පක්ෂ නියෝජිතයන්, සමාජ සංවිධාන නියෝජිතයන් මෙන්ම විවිධ දේශපාලන හා සමාජ තලයන් නියෝජනය කරන්නා වූ පුද්ගලන් ඒකරාශී කරගනිමින් තම අයිතීන් හෝ අරගලයන් ජයමාවත කරා රැගෙන යනු පිණිස මෙවන් පාදයාත්‍රා හෝ උද්ඝෝෂණ පාගමන් සිදුකරන ලද බව ඉතිහාසය පිරික්සීමෙන් පැහැදිලි වන කරුණක් වන අතර පී ටු පී පාගමනෙහි සන්දර්භය දෙස බැලූ විට ද අයිතිවාසිකම් උදෙසා හඬ නැගූ දේශපාලන දිගුවක මුලාරම්භයක අවස්ථාවක් ලෙස එය පෙන්වා දිය හැකි ය.
හෂානි චිත්‍රාංගණී පතිරණ