Hashtag Generation

“අගෝස්තු 18 කුරුන්දි ප්‍රතිමා ගෘහය කෝවිලක් කරන්න සැරසෙයි” කියන පණිවුඩ මහජනතාව නොමඟ යවයි.

මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුඳුමලේ හි පිහිටි ‘කුරුන්දි’ විහාරය සම්බන්ධයෙන් ඉකුත් මාස කිහිපයේදීම සමාජ මාධ්‍ය ඔස්සේ විශාල කතාබහක් නිර්මාණය වී තිබිණි. මේ අතරවාරයේ දී “කුරුන්දිය නැවතත් අනතුරේ, අගෝස්තු 18 අන්තවාදීන් විසින් කුරුන්දි පිළිමගේ ප්‍රතිමා ගෘහය කෝවිලක් කරන්න සැරසෙයි. ජාතිමාමක සසුන් ලැදි හැමෝම මහා සංඝරත්නය පෙරටු කොට ගෙන එදාට කුරුන්දියට එන්න..” යනුවෙන් දැක්වෙන සටහන් (Facebook posts) කිහිපයක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ සංසරණය වන ආකාරය ඉකුත් දින කිහිපයේ දී නිරීක්ෂණය විය.

එලෙස සංසරණය වූ සටහන් (Posts) කිහිපයක තිරඡායාරූප (Screenshots) කිහිපයක් පහතින් දක්වා ඇත.

මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුඳුමලේ හි පුරාවිද්‍යා වැදගත්කමකින් යුතු භූමි ප්‍රද‌ේශයක් වන අතර කුරුන්දි විහාරය පිහිටා ඇත්තේ එම භූමියේ ය. එම භූමියේම වෙනත් කොටසක කුරුඳුර් කන්දේ ආදිසිවන් අයියනාර් කෝවිල පිහිටා ඇත. 

කුරුඳුර් කන්දේ ආදිසිවන් අයියනාර් කෝවිල, අගෝස්තු මස 18 වැනිදා පොංගල් උත්සවයක් පැවැත්වීමට නියමිත බවත් ඒ සඳහා හින්දු ජනතාවට ආරාධනා කර ඇති බවත් හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමක දී දැනගන්නට ලැබිණි. එම ප්‍රවෘත්ති සාකච්ඡාවට මෙතැනින් සහ මෙතැනින්. කුරුඳුර් කන්දේ ආදිසිවන් අයියනාර් කෝවිලේ කළමනාකාරීත්ව සභාව මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබිණි. 

පොංගල් උත්සවය පැවැත්වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අවසර දුන් බව කුරුඳුර් කන්දේ ආදිසිවන් අයියනාර් කෝවිලේ කළමනාකාරීත්ව සභාව එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ප්‍රකාශ කර තිබිණි.  

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීති අංශයෙන් විමසීමක් කළේ ය.

කුරුඳුර් කෝවිලේ කළමනාකාරීත්වය අගෝස්තු මස 18 වැනිදා පොංගල් උත්සවයක් පැවැත්වීමට අවසර ඉල්ලූ බව අප කළ විමසීමේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීතිඥ රෝහණ කාරියවසම් මහතා පැවැසීය. ඒ අනුව ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් විමසූ බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නීති අංශයේ නීතිඥ රෝහණ කාරියවසම් මහතා පැවැසීය. 

මේ සම්බන්ධයෙන් අධිකරණයෙන් විමසූ අවස්ථාවේ දී ‘තමන් මීට පෙර කුරුන්දි විහාරයට අදාළව අධිකරණ නියෝග කිහිපයක් හරහා ඕනෑම ආගමික බැතිමත‌කුට ආගමික වතාවත් කිරීමට අවසර ලබා දී ඇති බැවින් ඒ සඳහා නැවතත් නියෝග නිකුත් කිරීම අවශ්‍ය නැති බවත්’ මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරුවරයා ප්‍රකාශ කළ බවත් කාරියවසම් මහතා කීවේ ය.

මේ අනුව පුරාවිද්‍යා නටඹුන් කිසිවකට හානි නොවන අයුරින් පොංගල් උත්සවය පැවැත්වීමට කෝවිලේ කළමනාකාරීත්ව සභාවට දැනුම් දුන් බව ද හෙතෙම කීය. 

කුරුඳුර් කන්දේ ආදිසිවන් අයියනාර් කෝවිලේ පොංගල් උත්සවය වාර්ෂිකව පැවැත්වෙන්නක් බවත් මේ වසරේ දී එය පැවැත්වීමට නියමිතව ඇත්තේ අගෝස්තු 18 වැනිදා බවත් හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම කෝවිලේ කළමනාකරණ සභාවේ සභාපති ඩී. විග්නේෂ්වරන් මහතා පැවැසීය. එය කිසිදු ආකාරයකින් බෞද්ධ පුදබිමට හානි කිරීමක් නොවන බවත් ඔහු කීවේ ය. එමෙන්ම පොංගල් උත්සවය පැවැත්වෙන්නේ හින්දු පූජා සහ ආගමික වතාවත් කිරීමට වෙන් කර ඇති ස්ථානයේ වන බව ද ඔහු කීය. සමාජ මාධ්‍යවල සඳහන් අන්දමින් කුරුන්දි ප්‍රතිමා ගෘහය කෝවිලක් කිරීමේ කටයුත්තක් සිදු නොවන බවත් විග්නේෂ්වරන් මහතා අවධාරණය කළේ ය. 

පොංගල් උත්සවය පැවැත්වෙන බව නිවේදනය කිරීම සඳහා පැවැති  මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දැක්වූ උතුරු පළාත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය කන්දයියා සිවනේසන් මහතාගෙන් ද හෑෂ්ටැග් පරපුර විමසීමක් කළේ ය. බෞද්ධ සිද්ධස්ථානවලට හානි වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් අගෝස්තු 18 වැනිදා සිදු නොවන බවත් එවැන්නක් සංවිධානය හෝ කර නොමැති බවත් සිවනේසන් මහතා ප්‍රකාශ කළේ ය. මෙදිනට සිදුවන්නේ පොංගල් උත්සවය සැමරීම පමණක් බවත් ඔහු කීවේ ය. 

නිගමනය:  මුලතිව් දිස්ත්‍රික්කයේ කුරුඳුමලේ ආශ්‍රිතව ‘කුරුන්දි’ විහාර පරිශ්‍රයේ අගෝස්තු මස 18 වැනිදා පොංගල් උත්සවයක් පැවැත්වීමට ඇති බව එම කෝවිලේ කළමනාකාරීත්වය ඉකුත් දා නිවේදනය කර ඇත. ඒ සඳහා කෝවිලේ කළමනාකාරීත්ව සභාව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසරයක් ඉල්ලා ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එම ඉල්ලීම අධිකරණය වෙත යොමු කර ඇති අතර එහිදි මීට පෙර දී ඇති උසාවි නියෝග අනුව කටයුතු කරන්නැයි අධිකරණය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
ඒ අනුව පුරාවිද්‍යා නටඹුන්වලට කිසිදු හානියක් නොවන අයුරින් පොංගල් උත්සවය පවත්වන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කෝවිලේ කළමනාකාරීත්ව සභාවට දැනුම් දී ඇත. හින්දු ආගමික වතාවත් කිරීමට වෙන් කර ඇති ස්ථානයේ පොංගල් උත්සවය පැවැත්වෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ කෝවිලේ කළමනාකාරීත්වය තහවුරු කළේ ය.
මේ අනුව ‘කුරුන්දි ප්‍රතිමා ගෘහය කෝවිලක් කිරීමට සැරසෙයි’ කියන පණිවුඩ මහජනතාව නොමඟ යවන්නේ යැයි නිගමනය කළ හැකි ය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.