Hashtag Generation

මස්කෙළියේ නිවසකට දිවියකු කඩාපැන්නා ද?

දිවියකු, සුනඛයකුට පහර දී රැගෙන යෑමට උත්සහා කරනවා යැයි සඳහන් කෙරෙන විඩියෝවක් පසුගිය දිනෙක සමාජ මාධ්‍යවල සංසරණය වී තිබිණි. සී.සී.ටීවී. (CCTV) විඩියෝවක් මෙලෙස සංසරණය වූ අතර ජනවාරි මස තුන්වැනි සතියේ දී පමණ මෙය සිංහල බසින් මෙන්ම දෙමළ බසින් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබිණි. මෙය නුවරඑළියේ ප්‍රදේශයේ සිදුවීමක් යැයි ද සමාජ මාධ්‍යවල සටහන් පළ වී තිබිණි. 

හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලූ අතර ඒ අනුව මෙය ඉන්දියාවේ සිදුවීමක් බව අනාවරණය විය. මෙම විඩියෝව සම්බන්ධයෙන් කළ සොයාබැලීමේදී මෙය ඉන්දියාවේ වෙබ් අඩවිවල පළ වී තිබූ අයුරු ද නිරීක්ෂණය කළ හැකි විය.  

Vikatan, Maalaimalar වැනි ඉන්දීය වෙබ් අඩවිවල මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළ වී තිබිණි. මෙම වෙබ් අඩවි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වේ.  

  

අප මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු දැන ගැනීම සදහා මෙම විඩියෝව පළ කර තිබූ  Unknown Hiker Sl නමැති ෆේස්බුක් පිටුවෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළේ ය.   

සමාජ මාධ්‍යවල දිවියකු බල්ලෙකුට පහර දෙන විඩියෝවක් මම දැක්කා, එක මම මගේ ෆේස්බුක් පිටුවට දැම්මා , ඒක සිද්ද වෙන්නේ මස්කෙළිය ප්‍රදේශයේ කියලත් සඳහන් කළා. පස්සේ තමයි දැන ගන්න ලැබුණේ ඒක ඉන්දියාවේ සිද්ධ වුණු දෙයක් කියලා. ඉන්දියාවේ මාධ්‍යවලත් ඒක සඳහන් කරලා තිබුණා කියලා. ඇත්තටම ,අපි නොදැනුවත්ව තමයි මේක අපේ   පිටුවේ දැම්මේ” හෑෂ්ටැග් පරපුර කළ විමසීමට පිළිතුරු දෙමින් එම ෆේස්බුක් පිටු‌වේ හිමිකරු පැවැසීය. 

මෙය මස්කෙළිය ප්‍රදේශයේ සිදුවීමක් බව සඳහන් කරමින් සමාජ මාධ්‍යවල සටහන් පළ වී තිබිණි. එම නිසා හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන්  මස්කෙළිය ප්‍රදේශයේ වනජිවී දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළේ ය. මස්කෙළිය ප්‍රදේශයෙන් මෙවැනි සිදුවීමක් වාර්තා වී නැතැයි හෑෂ්ටැග් පරපුර කළ විමසීමට පිළිතුරු දෙමින් එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය. 

මෙය ඉන්දියාවේ සිදුවීමක් ද යන්න තහවුරු කරගැනීම සඳහා හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ නීලගිරි දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගෙන් විමසීමක් කළේ ය.

මෙය ඉන්දියාවේ නීලගිරි දිස්ත්‍රික්කයේ සිදුවීමක් බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට ගොස් මේ කරුණු තහවුරු කරගත් බවත්  එම නිලධාරියා පැවැසීය. 

මෙහි මුල් කරුණු පරීක්ෂාව දෙමළ බසින් පළ විය, මෙතැනින්

නිගමනය: මස්කෙළිය ප්‍රදේශයේ දිවියෙකු සුනඛයෙකුට පහර දෙන විඩියෝවක් ලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණ වී ඇති විඩියෝව මෙරට සිදුවීමක් නොවේ. එය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නීලගිරි දිස්ත්‍රික්කයේ සිදු වී සිදුවීමකි.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.