Hashtag Generation

අද වන විට ලංකාවේ ගැබ් ගත් ළමයින් 9000 ක් සිටිනවාද?

ජාත්‍යන්තර කාන්තා දිනය පසුගිය මාර්තු 8 වෙනිදා යෙදී තිබුණි. මෙදින කාන්තාව සම්බන්ධ කර ගනිමින් විවිධ සටහන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනු දැක ගත හැකි විය. ඒ අතර “ළමා ගැබිණීන් 9000 ක් අපේ රටේ….” යන සිරස්තලය ඇතුළත් කර ගනිමින් පුවතක් pfp NEWS නම් වෙබ් පිටුවක පළ වී තිබූ අතර එය වට්ස්ඇප් (WhatsApp) ඇතුළු සමාජ මාධ්‍ය තුළ ද සංසරණය විය.

වෙබ් පිටුව තුළ පළ වූ සටහනේ තිර ඡායාරූපයක් (screenshot) සහ වට්ස්ඇප් (WhatsApp) තුළ හුවමාරු වූ සටහනේ තිරඡායාරූපයක් (screenshot) පහතින් දැක්වේ.

Pfp NEWS පුවත් වෙබ් අඩවියේ පළ වී තිබූ සටහනට මෙතැනින් පිවිසෙන්න.

“ළමා ගැබිණීන් 9000 ක් අපේ රටේ” යන සිරස්තරලය සහිතව ලිංගික අධ්‍යාපනය හා සාරධර්ම පිළිබඳව අන්තර්ගත කරමින් නිසඳැස් කාව්‍යමය සටහනක් ආකාරයෙන් මෙම පුවත වෙබ් පිටුව තුළ පළ වී තිබුණි. වට්ස්ඇප් සමාජ මාධ්‍යයේ හුවමාරු වූ පණිවුඩ සටහන තුළ “ අද දින පාර්ලිමේන්තුවේ ළමා සංසඳයේ සභාපතිතුමියගේ දේශනයෙන්” යනුවෙන් සඳහන් විය. 

මෙම පුවත සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමෙන් සමාජයට බලපෑම්කාරී විය හැකි බැවින් මේ පිළිබඳව කරුණු විමසා බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

ඒ අනුව වට්ස්ඇප් පණිවුඩයේ සඳහන් ආකාරයට ජාත්‍යන්තර කාන්තා දිනයේදී ළමයින් සදහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනිය වශයෙන් කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය ඇයගේ දේශනයේදී මෙවැනි ප්‍රකාශයක් සිදු කර ඇත්දැයි පළමුව විමසා බැලිණි.

දුරකථන ඇමතුමක් මඟින් රෝහිණී කුමාරි විජේරත්න මහත්මියගෙන් මේ පිළිබඳව විමසීය. එහිදී ඇය එවැනි ප්‍රකාශයක් සිදු කළ බවත් එම ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමාගේ කතාවකින් උපුටා ගත් බවත් ඇය සඳහන් කළාය. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමාගෙන් විමසීමක් කරන ලෙස ඇය පැවසුවාය.

⁣ශ්‍රී ලංකාවේ ගැබ්ගත් ළමයින් 9000 ක් සිටින බව සඳහන් ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පී.ජී. මහීපාල මහතාව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අවස්ථාව කිහිපයකදී ම උත්සහ දැරූවද එම උත්සහය ව්‍යර්ථ  විය. 

ඉන්පසුව මෙම පුවත සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති හා ප්‍රචාරණ අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හර්ෂප්‍රිය සිසිර කුමාර මහතාගෙන් විමසීමක් කළේය. මේ සම්බන්ධව වැඩිදුර තොරතුරු පවුල් සෞඛ්‍ය කාර්යංශයේ වෙබ් පිටුවෙන් ලබා ගත හැකි බව හර්ෂප්‍රිය මහතා පැවසීය. ඒ අනුව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මියගෙන් විමසීමක් කරන ලෙසටද ඒ මහතා ඉල්ලීමක් කළේය.

හර්ෂප්‍රිය මහතාගේ පැහැදිලි කිරීමට අනුව  පවුල් සෞඛ්‍ය කාර්යංශයේ වෙබ් පිටුවට ගොස් මේ සම්බන්ධයෙන් විමසා බැලුවේය. එහි 2016 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා නව යොවුන් වියේ (එනම් වයස අවුරුදු 19 ට අඩු) ගර්භණී මව්වරුන් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දක්වා තිබුණි. 2016 වර්ෂයේ ලියාපදිංචි වූ නව යොවුන්වියේ ගර්භණී මව්වරුන්ගේ ප්‍රමාණය 4.85% ක ප්‍රතිශතයක් වූ අතර 2023 වර්ෂය වන විට එය 3.8% ක් දක්වා අඩු වී තිබුණි. වැඩිදුර විස්තර සදහා මෙතැනින් පිවිසෙන්න.

Pfp NEWS වෙබ් පුවත තුළ සඳහන් සංඛ්‍යාවේ සහ මෙහි සඳහන් ප්‍රතිශතය තුළ බැලූ බැල්මට පැහැදිලි වෙනසක් පවතින බැවින් අපි මේ පිළිබඳව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මියගෙන් ද විමසා සිටියෙමු. එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා එවැනි ප්‍රකාශයක් සිදු කළාද නැද්ද යන්න පිළිබඳව ඇය නොදන්නා බවත් පෙරට වඩා නව යොවුන්වියේ දරුවන්ගේ ගර්භණීභාවයේ සැලකිය යුතු අඩුවක් සිදුව ඇති බවත් අධ්‍යක්ෂකතුමිය පැවසුවාය. ළමා ගැබිණීන් 9000 ක සංඛ්‍යාවක් පිළිබඳව ඇයට තොරතුරු ලැබී නොමැති බවත් පවුල් සෞඛ්‍ය කාර්යංශයේ දත්තවලට අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ එවැනි ගැබ් ගත් ළමයින් සංඛ්‍යාවක් සිටිය නොහැකි බවත් වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය වැඩිදුරටත් පැහැදිලි කළාය.

නිගමනය : පවුල් සෞඛ්‍ය කාර්යංශයේ දත්තවලට අනුව “ළමා ගැබිණීන් 9000ක් අපේ රටේ” යනුවෙන් පාර්ලිමේන්තු සංසඳයේ සභාපතිනිය වන රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය විසින් සිදු කල ප්‍රකාශය හා ඊට අදාළ පුවත මහජනතාව නොමඟ යවන බව නිගමනය කළ හැකිය. ශ්‍රී ලංකාවේ ළමා ගැබිණීන් ප්‍රතිශතය වර්තමානය වන විට අඩු වෙමින් පවතින බවත් ළමා ගැබිණීන් 9000 ක් සම්බන්ධ දත්තයක් හෝ තොරතුරක් පවුල් සෞඛ්‍ය කාර්යංශය සතු නොවන බවත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.