Hashtag Generation

නාග මාපිලෙකු දෂ්ඨ කළහොත් විනාඩි 20ක් ඇතුළත මියයනවා ද?

සත්ව ලෝකය තුළ සර්ප විශේෂ රැසක් දැකගත හැකිය. ශ්‍රී ලංකාවේ ද සර්ප විශේෂ රැසක් හඳුනාගත හැකි අතර මෙම සර්පයින් ගෘහාශ්‍රිතව, වනාශ්‍රිතව සහ ජලාශ්‍රිතව ජීවත්වනු ලබයි. එමෙන්ම මෙම සර්පයෙන් උග්‍ර විෂ සහිත, මද විෂ සහිත සහ විෂ රහිත යනුවෙන්  හඳුනාගත හැකිය. 

පුද්ගලයින් පිරිසක් විසින් සර්පයෙකු වට කරගෙන සිටිනු ලබන වීඩියෝවක් පසුගියදා ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. එම වීඩියෝවේ සිටින සර්පයා නාග මාපිලෙකු බවත් එම සර්පයා දෂ්ට කිරීමෙන් විනාඩි 20 ක්  තුළ මරණයට පත්වන බවත් එහි සිටින පුද්ගලයෙක් කරනු ලබන ප්‍රකාශයක්ද වීඩියෝවේ පසුබිමෙන් ඇසෙයි. 

එලෙස ෆේස්බුක් සමාජ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝවට මෙතැනින් පිවිසෙන්න. එම වීඩියෝවේ තිර ඡායාරූපයක්ද (screenshot) පහතින් දැක්වේ. 

මෙම වීඩියෝව “දසත ලංකා” ෆේස්බුක් පිටුවේ පළකර තිබුණි. “මේ සර්පයා මීට කලින් දැකල තියෙනවද? මෙයා බැරිවෙලාවත් කෑවොත් ඇත්තටම මොකද වෙන්නේ – ගමේ මිනිස්සු කියපු කතාව” යනුවෙන් වීඩියෝවේ සිරස්තලය සකසා තිබුණි. එමෙන්ම වීඩියෝවේ සිටින පුද්ගලයින් පිරිසෙන් එක් අයෙක් මෙම සර්පයා නාග මාපිලෙකු බවත් එම සර්පයා දෂ්ඨ කිරීමෙන් විනඩි 20 ක් තුළ මරණයට පත්වන බවත් පවසනු ලබයි. 

ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ මෙම වීඩියෝව නිසා පුද්ගලයින් තුළ අනවශ්‍ය බියක් ඇතිවිය හැකි බැවින් සහ මිනිසුන් අනවශ්‍ය ලෙස සර්පයින්ට හානි කිරීමට යොමු විය හැකි බැවින් මෙහි කරුණු විමසා බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

ඒ අනුව අප මෙම සර්පයා පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ තොරතුරු විමසා බැලූ අතර එහිදී ලද විස්තර ඡායාරූප සහ වීඩියෝ අනුව ෆේස්බුක්වල සංසරණය වූ වීඩියෝවේ සිටින සර්පයා නාග මාපිලා (Forsten’s Cat Snake) හෙවත් මාපිල් සර්ප විශේෂයට අයත් සර්පයකු බව පැහැදිලි විය. එමෙන්ම මෙම නාග මාපිලා නම් සර්ප විශේෂය මද විෂ සහිත සර්ප විශේෂයක් බව ද එහි සඳහන් විය. වීඩියෝවේ සංසරණය වූ සර්පයා සම්බන්ධව අන්තර්ජාලයෙන් ලද වැඩිදුර තොරතුරුවලට මෙතැනින් පිවිසෙන්න.

තවද  ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ වීඩියෝවේ සිටින සර්පයා නාග මාපිලෙකුද යන්න තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා දකුණු ආසියාතික උභය ජීවීන්ගේ සහ උරගයින්ගේ, පරිණාමය සහ ජීව භූගෝල විද්‍යාව පිළිබඳ පර්යේෂණ සිදු කරනු ලබන ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා  දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය කනිෂ්ක උකුවෙල මහතාගෙන් විමසීමක් කළේය. 

එහිදී ෆේස්බුක් සමාජ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝවේ සිටින සර්පයා නාග මාපිලෙකු බව ඒ මහතා තහවුරු කළේය. 

නාග මාපිලා යනු මද විෂ සහිත සර්පයකු වන බවත් එම සර්පයා දෂ්ඨ කිරීමෙන් බරපතළ හානි සිදු නොවන බවත් කනිෂ්ක මහතා අප වෙත පැවසීය. ශ්‍රී ලංකාවේ මාපිල් විශේෂ කිහිපයක් හඳුනාගත හැකි බවත් නාග මාපිලා, ලේ මාපිලා, නිඳි මාපිලා සහ පඳුරු මාපිලා ඒ අතරින් කිහිප දෙනෙකු බවත් ආචාර්ය කනිෂ්ක උකුවෙල මහතා අප වෙත පැවසීය. ශරීරයේ හැඩය, හිස කොටසේ ස්වභාවය සහ ජීවත්වන ස්ථානය අනුව මේ එක් එක් මාපිල් විශේෂ වෙන්කර හඳුනාගත හැකි බවත් ඒ මහතා පැවසීය.

උග්‍ර විෂ සහිත සර්පයකු දෂ්ඨ කළ ද විනාඩි 20 ක් තුළ මිය යන බව කිව නොහැකි බවත් එය අවස්ථාව හා තත්ත්වය මත තීරණය වන බවත් ඒ මහතා අප වෙත පැවසීය. ඒ අනුව මෙම වීඩියෝවේ සිටින සර්පයා දෂ්ඨ කළහොත් විනාඩි 20 ක් තුළ මිය යන බවට වීඩියෝවේ සිටින පුද්ගලයෙකු සිදු කරන ප්‍රකාශය සම්පූර්ණයෙන්ම මහජනතාව නොමග යවන බව කනිෂ්ක මහතා වැඩිදුරටත් පැවසීය.

නිගමනය : පසුගිය දා ෆේස්බුක් තුළ සංසරණය වූ පුද්ගලයින් පිරිසක් විසින් සර්පයෙකු වට කරගෙන සිටිනු ලබන වීඩියෝවේ සිටින සර්පයා නාග මාපිලකු වන අතර එම සර්පයා දෂ්ඨ කිරීමෙන් විනාඩි 20 ක් ඇතුළත මිය යන බවට වීඩියෝවේ සිටින පුද්ගලයකු කළ ප්‍රකාශය වැරදි ප්‍රකාශයකි. නාග මාපිලා මඳ විෂ සහිත සර්පයකු වන අතර දෂ්ඨ කිරීමෙන් බරපතල හානි සිදු නොවන බව අප කළ විමසීමකදී ආචාර්ය කණිෂ්ක උකුවෙල මහතා පැවසීය. මේ අනුව ෆේස්බුක් තුළ සංසරණය වූ වීඩියෝවේ සිටින සර්පයා දෂ්ඨ කළහොත් විනාඩි 20ක් තුළ මිය යන බවට සඳහන් ප්‍රකාශය මහජනතාව නොමඟ යවන බව නිගමනය කළ හැකිය.


අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.