Hashtag Generation

සර්කෝනියම් (Zirconium) නම් ලෝහය මෑතකදී ශ්‍රී ලංකාවෙන් සොයා ගැනුණ ලෝහයක්ද?

ශ්‍රී ලංකාව යනු  ස්වාභාවික සම්පත් සුලබ රටක් බව අමුතුවෙන් කිව යුතු නැත. ශ්‍රී ලංකාව සතුව පවතින ස්වභාවික සම්පත් පිළිබඳව කාලයෙන් කාලයට විවිධ කතාබහ මතු වන අතර පසුගිය මාසයේ ශ්‍රී ලංකාවෙන් ප්‍රථමවරට සර්කෝනියම් ලෝහය සොයා ගත් බව සඳහන් කරමින්  කතා පුවතක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය.

එලෙස සංසරණය වූ සමාජ මාධ්‍ය සටහනක තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

“ශ්‍රී ලංකාවෙන් මෙතෙක් සර්කෝනියම් මූලද්‍රව්‍ය සොයාගෙන නොතිබූ අතර රජරට  විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සිදු කළ පර්යේෂණයකින් එම මූලද්‍රව්‍ය මෙරට පුල්මුඩේ ඛනිජවැලි නිධියෙන් සොයා ගැනීමට සමත් වී ඇති” බව සමාජ මාධ්‍ය සටහනේ වැඩිදුරටත් සඳහන් වී තිබුණි.

එමෙන් ම සර්කෝනියම් ලෝහය නිස්සාරණය කිරීමේ ක්‍රමවේදයක් සොයා ගෙන ඇති බවට පුවතක් එම කාල වකවානුවේදී ම (2024 මාර්තු 27 වෙනිදා) NEWS 1st ඉංග්‍රිසි පුවත් වෙබ් පිටුවේ පළ වී තිබුණි.

NEWS 1st වෙබ් පුවත් පිටුව තුළ පළ වූ පුවතේ තිර ඡායාරූපයක් (screenshot) පහතින් දැක්වේ.

රජරට විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක්, සර්කෝනියම් ලෝහය නිස්සාරණය කිරීමේ ක්‍රමවේදයක් සොයා ගෙන ඇති බවත් නිස්සාරණය කරන ලද සර්කෝනියම් අධික උෂ්ණත්වයට ඔරොත්තු දිය හැකි ශක්තිමත් නිෂ්පාදන නිර්මාණය කිරීමට භාවිතා කළ හැකි බවත් වෙබ් පුවතේ සඳහන් විය. 

මේ ආකාරයට සර්කෝනියම් නිස්සාරණය කිරීමේ ක්‍රමවේදයක් සොයාගත් බවට News 1st වෙබ් අඩවියේ සදහන් වුව ද සර්කෝනියම් මූලද්‍රව්‍ය මෑතකදී ලංකවෙන් පළමුවරට සොයා ගත් බවට සමාජ මාධ්‍ය සටහන්වල සදහන්ව තිබුණි. 

මෙම පුවත් දෙකෙහි ඇති පරස්පරතාවය නිසා ම මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

ඒ අනුව පළමුවෙන් ම සර්කෝනියම් මූලද්‍රව්‍යය පිළිබඳ තොරතුරු අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කළේය. 

සර්කෝනියම් යනු දිලිසෙන රීදී (අළු පැහැයට හුරු) ලෝහයකි. මෙම ලෝහය ආවර්තිතා වගුවේ  Zr නම් සංකේතයෙන් නිරූපණය වන අතර එහි පරමාණුක ක්‍රමාංකය 40 වේ. සර්කෝනියම් නිස්සාරණය කිරීමෙන් න්‍යෂ්ටික බලය, රසායනික කර්මාන්තය, වෛද්‍ය විද්‍යාව සහ තවත් බොහෝ දේ සඳහා භාවිතා කළ හැකි ශක්තිමත් ලෝහයක් බවට පත්වේ. 

තවද සර්කෝනියම් ප්‍රධාන වශයෙන් නිස්සාරණය කරනු ලබන්නේ වෙරළබඩ ජලයේ වැලිවල බහුලව දක්නට ලැබෙන සර්කෝන් ඛනිජයෙන් බවත් ඕස්ට්‍රේලියාව, චීනය, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව සහ යුක්‍රේනය සර්කෝනියම් නිෂ්පාදනයේ ප්‍රමුඛයින් බවත් ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ (International Atomic Energy Agency) වෙබ් පිටුවේ පළ වූ ලිපියත් තුළ සඳහන් වී තිබුණි. 

එමෙන් ම සර්කෝනියම් ලෝහය 1789 දී ජර්මානු රසායන විද්‍යාඥය මාර්ටින් ක්ලැප්‍රොත් විසින් ශ්‍රී ලංකාවෙන් ගෙනයන ලද සර්කෝන් ගලකින් හඳුනාගෙන ඇති බව ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සියේ වෙබ් පිටුවේ පළ වූ ලිපියේ වැඩිදුරටත් සඳහන් විය. එම ලිපියට මෙතැනින් පිවිසෙන්න. 

ඉහත අන්තර්ජාල සටහනට අනුව සර්කෝනියම් මුල්වරට හඳුනා ගැනීම සිදුවී ඇත්තේ ද ශ්‍රී ලංකාව ආශ්‍රය කර ගනිමිනි.  

සර්කෝනියම් ලෝහය පිළිබඳවත්, එහි ශ්‍රී ලංකාවේ ව්‍යාප්තිය සහ සර්කෝනියම් ශ්‍රී ලංකාවෙන් පළමු වරට සොයාගත් බවට සමාජ මාධ්‍ය තුළ පළ වූ සටහන  සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පැහැදිලි කර ගැනීම සඳහා බලශක්ති පිළිබඳ උපදේශක ආචාර්ය අරුණ කුලතුංග මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී සමාජ මාධ්‍ය තුළ පළ වූ සටහන වැරදි බව අරුණ කුලතුංග මහතා පැවසුවේය. සර්කෝනියම් යනු ශ්‍රී ලංකාවේ බහුලව පවතින ඛනිජ ද්‍රව්‍යයක් බවත් 1890 ගණන්වල සිට මේ පිළිබඳව කැණීම් සිදු කරන බවත් ආචාර්ය අරුණ කුලතුංග මහතා පැවසීය. ශ්‍රී ලංකාවේ සර්කෝනියම් මුල්වරට සොයා ගනු ලැබූවේ මීට වසර ගණනාවකට පෙර බවත් එම කාල වකවානුවේ සිටම අමුද්‍රව්‍යයක් ලෙස සර්කෝනියම් ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීම සිදුවන බවත් ඒ මහතා පැවසීය. මෑතකදී රජරට විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සර්කෝනියම් නිස්සාරණය කිරීම මඟින් වටිනාකමකින් යුත් ශක්තිමත් නිෂ්පාදන නිර්මාණය කිරීමේ ක්‍රමවේදයක් සොයාගෙන ඇති නමුත් එම ක්‍රමවේදය සිදුවන ආකාරය කිසිඳු තොරතුරු තවමත් අනාවරණය කර නැති බවත්  ආචාර්ය අරුණ කුලතුංග මහතා අප වෙත පැවසීය.

එමෙන් ම සර්කෝනියම් ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීම සම්බන්ධව ද තවදුරටත් කරුණු විමසා බැලූ අතර ලෝක බැංකුව විසින් 2021 වර්ෂයේ සර්කෝනියම් අපනයන කිරීම සම්බන්ධව ඉදිරිපත් කළ වාර්තාවක් අපට හමුවිය. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවෙන් සර්කෝනියම් අපනයනය කර ඇති බව පැහැදිලි විය. ලෝක බැංකුව විසින් ඉදිරිපත් කළ වාර්තාවට මෙතැනින්.

නිගමනය : ශ්‍රී ලංකාවෙන්  මෑතකදී මුල් වරට සර්කෝනියම් ලෝහය සොයා ගෙන ඇති බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුළ සටහනක් සංසරණය විය. රජරට විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් සර්කෝනියම් ලෝහය නිස්සාරණය කිරීමේ ක්‍රමවේදයක් සොයාගැනීමේ පුවතක් සමඟ මෙම සටහන සමාජ මාධ්‍ය තුළ දැකගත හැකි විය. සර්කෝනියම් ලෝහය වසර ගණනාවකට පෙර සිට මෙරටින් හමුවී ඇති අතර සර්කෝනියම් අමුද්‍රව්‍යයක් ලෙස ශ්‍රී ලංකාවෙන් අපනයනය කර ඇති බව වෛද්‍ය අරුණ කුලතුංග මහතා අප වෙත පැවසීය. මේ අනුව ප්‍රථම වරට සර්කෝනියම් ශ්‍රී ලංකාවෙන් සොයා ගත් බව සඳහන් සමාජ මාධ්‍ය සටහන මහජනතාව නොමඟ යවයි. 


අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.