Hashtag Generation

අනුර කුමාර දිසානායකගේ විශ්වවිද්‍යාල කාලය පිළිබඳව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිදු කළ ප්‍රකාශය තිස්ස ජනනායකගේ වීඩියෝවක සඳහන්ද?

පසුගිය මාර්තු 11 වෙනිදා පැවති සමඟි ජන බලවේග ජන හමුවක් අමතමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධව සිදු කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. 

අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ විශ්වවිද්‍යාල සමයේ තුළ ඉගෙනීමක් සිදු නොකළ බවත් රාත්‍රී කාලයේදී නිවාස මංකොල්ලකමින්, මිනීමරමින් කාලය ගත කළ බවත් ඇයගේ ප්‍රකාශය තුළ සඳහන්ය. ඇය මෙම තොරතුරු තිස්ස ජනනායක නම් උපකාරක පන්ති ගුරුවරයාගේ සමාජ මාධ්‍ය වීඩියෝවකින් ලබාගත් තොරතුරු බවද කතාව ආරම්භයේදීම සඳහන් කරන ලදී. 

ප්‍රේමචන්ද්‍ර විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ වීඩියෝවේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

 සමාජ මාධ්‍යවල මෙන් ම ඇතැම් වෙබ් පුවත්වලද මේ බව සඳහන් වූ නිසා මේ පිළිබඳව විමසා බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

ශ්‍රී ලංකාවේ ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන තිස්ස ජනනායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සම්බන්ධව වීඩියෝවක් සිදු කර ඇත් දැයි විමසා බැලිණි.

එහිදී මීට වසර දෙකකට පමණ පෙර සිදු කළ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් අපට හමුවිය. “අනුර කුමාර සහ අනිත්‍ය” ලෙස එම වීඩියෝව නම් කර තිබුණි. 

අනුර කුමාර දිසානායක සම්බන්ධව තිස්ස ජනනායක විසින් සිදු කරන ලද ප්‍රකාශය ඇතළත් වීඩියෝවේ තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

එම වීඩියෝවේ මිනිත්තු 13:0014:50 යන කාල පරාසය තුල ජනනායක සහ අනුර කුමාර දිසානායක විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ එකම කාමරයක නවාතැන් ගෙන සිටිය බවත් අනුර කුමාර දිසානායක රාත්‍රී කාලයේදී කාමරයෙන් පිටතට ගොස් නැවත උදෑසන පැමිණෙන බවත් එහිදී ඔහු සඳහන් කරන අතර දිසානායක රාත්‍රී කාලයේදී එළියට යන්නේ ඔහුගේ දේශපාලන වැඩ කටයුතු සඳහා බවත් සෑම රාත්‍රීයකම පිටත සිටියද ඔහු විශ්වවිද්‍යාල විභාගද සමත් වූ බවත් එහි දී පවසයි.  

ජනනායක විසින් සිදුකළ වීඩියෝවේ කිසිදු තැනක දිසානායක විශ්වවිද්‍යාලය තුළදී ඉගෙන නොගත් බවක් හෝ ඔහු මිනීමරා ගෙවල් මංකොල්ල කෑ බවක් සදහන් නොවේ. ඒ අනුව ප්‍රේමචන්ද්‍ර විසින් ප්‍රකාශ කරනු ලැබූ ඇතැම් කරුණු මුල් වීඩියෝවේ අන්තර්ගත නොවේ.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධව තවදුරටත් කරුණු විමසා බැලිණි. එහිදී තිස්ස ජනනායකගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුම තුළ මාර්තු 12 වන දින මෙම සිදුවීම සම්බන්ධයෙන් පණිවිඩයක් සමග අදාළ වීඩායෝවද පළ කර තිබුණි. එහි තිර ඡායාරූපයක් පහතින් දැක්වේ.

ප්‍රේමචන්ද්‍ර විසින් සඳහන් කර ඇති අයුරින් දිසානායක විශ්වවිද්‍යාල ජීවිතය තුල සමහර දින වලදී රාත්‍රී කාලයේ හොස්ටල් කාමරය තුල රැඳී නොසිටීම පිලිබඳව ඔහු සිදු කල ප්‍රකාශය සත්‍ය නමුත්  එම කතාව තුල ඇය ඉන් ඉදිරියට පවසන කාරණා පිළිබඳව වගකීමක් නොදරන බව ඔහු සඳහන් කර ඇත. 

“ඔහු රාත්‍රී කාලය තුලදී හොස්ටල් කාමරය තුල රැඳී නොසිටීමට හේතුව ඔහුගේ දේශපාලන අභිමතය පරිදි සිදු කල දේශපාලන කටයුතු වල නිරත වීම සඳහා බව මම ඉතා පැහැදිලිව අදාල වීඩියෝවේ සඳහන් කර ඇත. ඔහුගේ ප්‍රතිඵල සම්බන්ධයෙන් සහ ඔහුගේ හැසිරීම් සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිදු කර ඇති ප්‍රකාශ කිසිසේත්ම මා සඳහන් කල දේවල් නොවන වගත්, එවැනි කිසිවත් අදාල වීඩියෝවේ අන්තර්ගත නොවන බවත් ඔබට දන්වමි” යනුවෙන්ද ජනනායක එහිදී සඳහන් කර ඇත. 

තිස්ස ජනනායකගේ ෆේස්බුක් පණිවිඩයත් සමග මෙම සිදුවීම පිළිබදව තවදුරටත් කරුණු තහවුරු කර ගැනීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට අප උත්සහ දැරූවද එය ව්‍යර්ථ විය.

නිගමනය : අනුර කුමාර දිසානායක මහතා ඔහුගේ විශ්වවිද්‍යාල කාලය තුළ ඉගෙනීමක් සිදු නොකර රාත්‍රී කාලයේදී ගෙවල් මංකොල්ල කමින්, මිනීමරමින් කටයුතු කළ බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිදු කළ ප්‍රකාශය මහජනතාව නොමග යවන බව නිගමනය කළ හැකිය. මෙම ප්‍රකාශයට ඇය පාදක කර ගනු ලැබූ තිස්ස ජනනායක නම් උපකාරක පන්ති ගුරුවරයාගේ වීඩියෝව තුළ එවැන්නක් සදහන් නොවේ.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.