Hashtag Generation

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනතින් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නොමැත.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සම්මත වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී සැලකිය යුතු කතාබහක් නිර්මාණය වී තිබිණි. මෙම පනත යටතේ, කොළඹ පරිගණක අපරාධ අංශය පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව සඳහන් කරමින් ඉකුත් දින කිහිපයේ දී සමාජ මාධ්‍ය තුළ සටහනක් සංසරණය වී තිබිණි.  කොළඹ පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් පස්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ජී.පී. නිස්සංක නම් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව එම සටහනේ සඳහන් ව තිබිණි. 

එලෙස සංසරණය වූ සමාජ මාධ්‍ය සටහනේ  තිර ඡායාරූප (screenshot) පහතින් දැක්වේ.

“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත ක්‍රියාත්මකයි ” යන සිරස්තලය සහිතව මෙම සටහන සමාජ මාධ්‍ය තුළ සංසරණය වී තිබුණි. කොළඹ පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් පස්දෙනෙකු විසින් ජී.පී. නිස්සංක නමැති පුද්ගලයකු ඉකුත් පස්වැනිදා (මාර්තු 5) රාත්‍රී 10.45ට පමණ ගොඩකවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව එම සමාජ මාධ්‍ය සටහනේ සඳහන්ව තිබිණි. 

නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතාගෙන් හෑෂ්ටැග් පරපුර මේ සම්බන්ධයෙන් විමසීමක් කළේ ය. 

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති බවත් පරිගණක අපරාධ පනත යටතේ ජී.පී. නිස්සංක නමැති පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් නිහාල් තල්දූව මහතා එහිදි පැවැසීය. මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ පුද්ගලයකු අත්අඩංගුවට ගත හැක්කේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ කොමිෂන් සභාවේ නිර්දේශයක් අනුව බවත් තවම එම කොමිෂන් සභාව ස්ථාපිත කර නොමැති බවත් හෙතෙම කීවේ ය.  

මහජනතාව නොමඟ යවන ආකාරයේ මෙවැනි පණිවුඩ මේ කාලයේදී වැඩ වශයෙන් දක්නට ලැබුණු බව ද නිහාල් තල්දූව මහතා පැවැසීය. 

මාර්ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ගැන මීට පෙර අවස්ථාවකද මහජනතාව නොමඟ යවන පුවත් සහ සමාජ මාධ්‍ය සටහන් පළ විය. හෑෂ්ටැග් පරපුර කළ එවැනි කරුණු පරීක්ෂාවකට  මෙතැනින් පිවිසෙන්න. 

මාර්ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත පිළිබද නීතිමය පැහැදිලි  කිරීමක් ද කරුණු පරීක්ෂාවේ සදහන් කර ඇත. 

නිගමනය: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ පුද්ගලයකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත. පරිගණක අපරාධ පනත යටතේ ජී.පී. නිස්සංක නමැති පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව මේ සමබ්න්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.මේ අනුව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ කිසිදු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන නොමැති බව තහවුරු කළ හැකි ය.  

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.