Hashtag Generation

අවම වැටුප් ලබන සේවකයින් සිටින රට ශ්‍රී ලංකාව බව සදහන් කරමින් CEOWORLD සගරාවේ ලිපියක් පළ වී ඇත.

ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටක් මෙන්ම පහළ මැදි ආදායම් රටකි. ශ්‍රී ලංකාව 2022 වසරේ දී උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දුන් අතර ආර්ථික විද්‍යාඥයන්ට අනුව එය ශ්‍රී ලංකාව නිදහසින් පසු මුහුණ දුන් උග්‍රතම ආර්ථික අර්බුදය යි. ආර්ථික අර්බුදයත් සමඟ රට තුළ දේශපාලන අර්බුදයක් නිර්මාණය වූ අතර මේ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදුව තිබේ. 

ගෙවුණු වසර දෙකකට ආසන්න කාලය තුළත් වර්තමානයේදීත් ආර්ථිකය තුළ ප්‍රතිසංස්කරණමය වෙනස්කම් ඇතුළු විවිධ වෙනස්කම් සිදුවෙමින් පවතී.  අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ඇතුළුව බඩු මිල ඉහළ ගොස් ඇති අතර මිල ගණන් ඉහළයාම දැරිය නොහැකි යැයි මහජනතාවගෙන් චෝදනා එල්ල වී තිබේ. සාමාන්‍ය ජනතාවගේ ජීවන වියදම ද ඉහළ ගොස් ඇත. මෙවැනි පසුබිමක අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා ඇතුළු ව බඩුමිල ඉහළ යෑමට සාපේක්ෂව මෙරට වැසියන්ගේ වැටුප් වැඩි නොවීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ දී සමාජ මාධ්‍ය තුළ සැලකිය යුතු කතාබහක් නිර්මාණය වී තිබිණි. 

රටවල් එකසිය පහකින් (105) අවම වැටුප් ලබන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි සඳහන් කරමින් ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය තුළ සටහන් සංසරණය වී තිබිණි. 

එලෙස සංසරණය වූ සටහනක තිර ඡායාරූපයක් (screenshot) පහතින් දැක්වේ.

“රටවල් 105 කින් අඩුම වැටුප් ලබන සේවකයින් සිටින රට බවට ලංකාව පත්වෙයි” යනුවෙන් එම සටහනේ සඳහන් වේ. සී.ඊ.ඔ වර්ල්ඩ් (CEOWORLD) නමැති ව්‍යාපාරික සඟරාවක සදහන් බව දක්වමින් එම  තොරතුරු වාර්තා කර තිබුණි.

ලොව වැඩිම වැටුප් ලබන සේවකයන් සිටින රට ස්විට්සර්ලන්තය යැයි ද එම ලැයිස්තුවේ අවසාන රට ශ්‍රී ලංකාව යැයි ද  එම ෆේස්බුක් සටහනේ දැක් වේ. මෙරට වැසියකුගේ දළ මාසික වැටුප රුපියල් 45,000ක් බවත් සටහනේ සඳහන් ව තිබුණි. 

මෙම සටහන සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමග මෙවැනි තොරකුරක් සී.ඊ.ඔ වර්ල්ඩ් (CEOWORLD) සගරාවේ පළ වී ඇත්දැයි විමසා බැලීමට හෑෂ්ටැග් පරපුර තීරණය කළේය.

සියෝවර්ල්ඩ් (CEOWORLD) ව්‍යාපාරික සඟරාවේ නිල වෙබ් අඩවිය 2023 වසරේ අගෝස්තු මාසයේ දී සමීක්ෂණ වාර්තාවක් පළ කර ඇත. මෙතැනින්  

CEOWORLD ව්‍යාපාරික සඟරාවේ සමීක්ෂණ වාර්තාවට අනුව ලොවපුරා රටවල වැටුප් සම්බන්ධව සිදුකළ සමීක්ෂණයෙන් ඉහළම වැටුප් ලබන රට බවට ස්විට්සර්ලන්තය සඳහන්ව ඇත. ස්විට්සර්ලන්තයේ එක් පුද්ගලයෙකුගේ සාමාන්‍ය මාසික වැටුප ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 6142.1කි. එම වාර්තාවට අනුව ශ්‍රී ලංකාව අවසාන ස්ථානයේ සිටින අතර ශ්‍රී ලංකාවේ එක් පුද්ගලයෙකුගේ සාමාන්‍ය මාසික වැටුප ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 143.62 කි. 

CEOWORLD ව්‍යාපාරික සඟරාවේ සමීක්ෂණ වාර්තාවේ වැටුප් සම්බන්ධ ශ්‍රේණිගත කිරීමට අදාළ තිර ඡායාරූපයක් (screenshot) පහතින් දැක් වේ.

එමෙන් ම ශ්‍රී ලංකාවේ ආර්ථික සහ ව්‍යාපාරික තොරතුරු දැන ගැනීම සඳහා CEOWORLD ශ්‍රී ලංකා නිල වෙබ් පිටුවට පිවිසිය හැකිය. 

“ලොවපුරා රටවල් 105 කින් අවම වැටුප් සහිත රට බවට ශ්‍රී ලංකාව පත්වෙයි” යන ප්‍රකාශය සඳහන් සමාජ මාධ්‍ය සටහන් මෙම වසරේ ජනවාරි මාසය තුළ ද සංසරණය විය. එසේ වුවද මෙම ලිපිය CEOWORLD ව්‍යාපාරික සඟරාවේ 2023 වර්ෂයේ අගෝස්තු මාසයේ පළ වූ සමීක්ෂණ ලිපියක් බව සඳහන් කිරීම වටී. එමෙන් ම මෙම CEOWORLD ව්‍යාපාරික සඟරාවේ අන්තර්ගත දත්ත නිවැරදි ද නැද්ද යන වග පිළිබදව නිශ්චිත නිගමනයකට එළඹීමට හැකියාවක් නොමැති අතර වැටුප් පිළිබදව නිල දත්ත නිශ්චිත තොරතුරු  මූලාශ්‍රයක සදහන් නොවේ. 

නිගමනය: “රටවල් 105 කින් අඩුම වැටුප් ලබන සේවකයින් සිටින රට බවට ශ්‍රී ලංකාව පත්වෙයි” යනුවෙන් සමාජ මාධ්‍ය තුළ පළ වූ සටහන් 2023 වසරේ CEOWORLD ව්‍යාපාරික සඟරාවේ පළ වූ සමීක්ෂණ වාර්තාවක් ඇසුරෙන් ඉදිරිපත් කර ඇත. ඒ පිළිබඳ තොරතුරු CEOWORLD ව්‍යාපාරික සඟරාවේ නිල වෙබ් පිටුවේ සඳහන් වන අතර ඒ අනුව සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ සටහන් නිවැරදි බව නිගමනය කළ හැකිය. කෙසේ නමුත් මෙම CEOWORLD ව්‍යාපාරික සඟරාවේ අන්තර්ගත දත්ත නිවැරදි ද නැද්ද යන වග පිළිබදව නිශ්චිත නිගමනයකට එළඹීමට හැකියාවක් නොමැත.

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.