Hashtag Generation

වැඩිම මිලකට ඇපල් අලෙවි කරන ලොව දෙවැනි රට ලංකාව ද?

භාණ්ඩ හා සේවා සදහ‌ා සහ ආදායම් මත පනවා තිබූ බදු 2022 වසරේ මැද දී ඉහළ ගියේ ය. විශේෂයෙන් ම එකතු කළ අගය මත බදු පැනවීම සහ  ආනයනික භාණ්ඩ සදහා බදු පැනවීම නිසා බොහෝ ආනයනික භාණ්ඩවල මිල ගණන් ඉහළ ගිය අතර ඇතැම් භාණ්ඩ ආනයනය කිරීම ද සීමා කෙරුණි.   මේ හේතුවෙන්  ආනයනික පලතුරුවල මිල ද ඉහළ යන්නට විය. 

එමෙන්ම 2024 වර්ෂය ආරම්භ වීමත් සමඟ සියයට 15ක් පැවැති එකතු කළ අගය මත බද්ද (වැට් – VAT) සියයට 18ක්   දක්වා ඉහළ දැමීම  නිසා  භාණ්ඩ මිල ගණන් තවදුරටත් ඉහළ ගියේ ය. මේ සමඟ  භාණ්ඩවල මිල ගණන් පිළිබදව විවිධ කතාබහ ඇති විය. ඒ අතර ‘අධික මිලකට ඇපල් අලෙවි කරන ලොව දෙවන රට බවට ශ්‍රී ලංකාව පත්වෙයි’ යනුවෙන් සඳහන් සටහන් සමාජ මාධ්‍යවල සංසරණය වන අයුරු දක්නට ලැබිණි. 

“NUMBEO වාර්තා උපුටා දක්වන පාරිභෝගික දර්ශකයට අනුව අධික මිලකට ඇපල් අලෙවි කරන ලොව දෙවන රට ලංකාවයි” යනුවෙන් එම සමාජ මාධ්‍ය සටහ⁣න්වල දැක්විණි.

එලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ සටහනේ තිර ඡායාරූපයක් (Screenshot) පහතින් දැක්වේ.

මෙම සටහන් ෆේස්බුක් (Facebook) ඇතුළු සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමත් සමඟ හෑෂ්ටැග් පරපුර ඒ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීය.

ඒ අනුව පළමුවෙන් ම NUMBEO යනු කුමක්දැ යි විමසා බැලූ අතර  NUMBEO යනු ලොව පුරා රටවල පාරිභෝගික මිල ගණන්, නිශ්චල දේපළ මිල සහ ජීවන තත්ත්ව පිළිබද දත්ත ඇතුළත් වෙබ් අඩවියක් බව එහිදි සොයාගන්නට ලැබිණි. මෙම වෙබ් අඩවිය Google හි හිටපු සේවකයකු වන ම්ලාඩෙන් ඇඩම්වික් (Mladen Adamvic) ආරම්භ කර ඇති අතර එය ලොව පුරා සිටින පරිශීලකයන්ට රටවල් සහ නගර අතර ජීවන වියදම සහ පාරිභෝගික මිල ගණන් පිළිබඳ තොරතුරු හුවමාරු කිරීමට පහසුකම් සලසා ඇත.

සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ සටහන්වල සඳහන් වූයේ NUMBEO වාර්තා උපුටා දක්වන පාරිභෝගික දර්ශකයට අනුව ලොව අධික මිලට ඇපල් අලෙවි කරන රටවල් අතරින් දෙවන තැනට ශ්‍රී ලංකාව පත්ව ඇත යනුවෙනි. ඒ අනුව අප NUMBEO වෙබ් පිටුවට පිවිස මේ පිළිබඳව විමසා බැලීය. එහිදී ලොව පුරා රටවල්වලට අනුව ඇපල් කිලෝග්‍රෑමයක විකුණුම් මිල ශ්‍රේණිගත කිරීමේ වාර්තාව දැක ගත හැකි විය.

NUMBEO වාර්තාවේ ඇපල්වල විකුණුම් මිල ශ්‍රේණිගත කිරීමේ දත්ත වගුවේ (මාර්තු 01) තිර ඡායාරූපයක් (Screenshot) පහතින් දැක්වේ.

“NUMBEO” වාර්තාවට අනුව ලොව වැඩිම මිලකට ඇපල් කිලෝග්‍රෑමයක් අලෙවි කරනු ලබන්නේ දකුණු කොරියාවයි. දකුණු කොරියාවේ ඇපල් කිලෝග්‍රෑමයක මිල ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 6.78 කි. එය  ශ්‍රී ලංකා මුදලින් රුපියල් 2102.41 ක් පමණ වේ.  

එම වාර්තාවට අනුව දෙවැනි තැන ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර ශ්‍රී ලංකාවේ ඇපල් කිලෝග්‍රෑමයක මිල ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 6.25 ක් වේ. එය ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් 1938.07 කි. එමෙන්ම අඩුම මිලට ඇපල් අලෙවි වන්නේ යුක්රේනයේ වන අතර එහි ඇපල් කිලෝග්‍රෑමයක මිල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 0.73කි. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් 226.37 ක් පමණ වේ.

මෙම “NUMBEO” වාර්තාවේ දත්තවල නිරවද්‍යතාව විමසා බැලීම සඳහා මෙරට   වෙළෙඳපොළේ ඇපල් කිලෝග්‍රෑමයක මිල ගණන් විමසා බැලීය.  මෙරට වෙළෙඳපොළවල ඇපල් මිල ගණන් සහ “NUMBEO” වාර්තාවේ මිල ගණන් අතර සමානකම් තිබෙන බව එහිදි දක්නට ලැබිණි. 

මෙහිදි කාර්ගිල්ස් (Cargills), කීල්ස් (Keels), ස්පාර්(Spar) වැනි සුපිරි වෙළදසැල්වල ඇපල්වල මිල ගණන් විමසා බැලූ අතර එහිදි තරමක විවිධත්වයක් නිරීක්ෂණය කළ හැකි විය. 

කාර්ගීල්ස් ෆුඩ් සිටි සුපිරි වෙළෙඳසැලේ ඇමෙරිකානු (USA) රතු ඇපල් කිලෝවක මිල රුපියල් 1990.00 ක් ලෙස සටහන් විය. එම ඇපල් කිලෝවක් කීල්ස් සුපිරි වෙළෙඳසැලේ රුපියල් 2390.00ක් සහ ස්පාර් සුපිරි වෙළෙඳසැලේ රුපියල් 2060.00 ක් ලෙස සටහන්ව තිබිණි.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයෙන් ඇපල් කිලෝවක මිල පිළිබදව විමසීමක් කළ අතර දකුණු අප්‍රිකාවෙන් ආනයනය කරන ඇපල් කිලෝවක තොග මිල රුපියල් 1650  ක් ද සිල්ලර මිල රුපියල් 1800 ක් යැයි එහිදි දැනගන්නට ලැබිණි. ආනයනික භාණ්ඩ සඳහා 2022 වසරේ දී බදු පැනවීමත් සමඟ රුපියල් 11,000කට පමණ තිබූ ‘ඇපල් පෙට්ටියක’ මිල රුපියල් 25,000ක් දක්වා ඉහළ ගිය බව හෑෂ්ටැග් පරපුර කළ විමසීමේ දී නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ මහතෙකු පැවැසීය. 

දැනට පවතින ඇපල් මිල විශේෂ මිල ඉහළ යාමක් නොවන බවත් 2022 වසරේ සිට මෙම මිල ගණන් වරින් වර අඩු වැඩි වූ බවත් ඔහු තවදුරටත් පැවැසීය.  

මේ අනුව මෙරට වෙළෙඳපොළේ ආනයනික ඇපල් කිලෝග්‍රෑමයක මිල හා NUMBEO වාර්තාවේ සඳහන් ඇපල් කිලෝග්‍රෑමයක මිල අතර සමානකමක් දැකගත හැකිය. මේ අනුව අධික මිලට ඇපල් අලෙවි වන රටවලින් දෙවන තැනට ශ්‍රී ලංකාව පත්ව ඇති බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන සටහන්වල සඳහන් තොරතුරු නිවැරැදි බව පැහැදිලිය.

නිගමනය: ‘NUMBEO වාර්තාවට අනුව ලොව වැඩි ම මිලකට ඇපල් අලෙවි කරන රටවල් අතරින් දෙවැනි තැන ශ්‍රී ලංකාව බවට සමාජ මාධ්‍යයේ පළ වී ඇති වාර්තා සත්‍ය යැයි නිගමනය කළ හැකි ය. මෙරට වෙළෙඳපොළේ ඇපල්වල මිල ගණන් ද ‘NUMBEO වාර්තාවේ ඇති මිල ගණන්වලට සමාන වේ.  

අප, හෑෂ්ටැග් පරපුර කලින් කරන ලද කරුණු විමසීම්වලට (Fact Checks) මෙතැනින් පිවිසෙන්න.